පෞද්ගලික රෝහලකදී සිදුකළ සැත්කම් දෙකකින් අනතුරුව අසාධ්‍ය වී ගාල්ල ජාතික රෝහලේදී මියගිය 45 හැවිරිදි එක්දරු මවකගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ මණ්ඩලයක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
ගාල්ල, හොලුවාගොඩ, උළුවිටිගේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව,
රෝගී තත්ත්වයක් සඳහා ගාල්ල, කරාපිටිය, ගලාගෙඩිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු පළමු සැත්කම සිදුකර ඇත. නිවසට පැමිණි පසු ඇයගේ තත්ත්වය නැවතත් අසාධ්‍ය වීම නිසා දෙවන වරටත් එම රෝහලට ඇතුළත් කර තවත් සැත්කමක් සිදුකර තිබේ.
දෙවන සැත්කමෙන් පසු ඇතිවූ සංකූලතාවක් මත ඇගේ අතකට එන්නත් කරන ලද ඖෂධයකින් පසු රෝගී තත්ත්වය වඩාත් උත්සන්න වී ඇත. පසුව, එම පෞද්ගලික රෝහලේ වෛද්‍ය උපදෙස් මත ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 වන දා ඇය මියගොස් ඇත.
මියගිය කාන්තාවගේ සැමියා සහ ඥාතීන් චෝදනා කරන්නේ, පෞද්ගලික රෝහලේදී සිදුකළ සැත්කම් නිසි ප්‍රමිතියකින් තොරව සිදුකිරීම සහ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මෙම මරණයට සෘජුවම හේතු වූ බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා විසින් ගාල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, ඒ ඔස්සේ පොලිස් විමර්ශන දැනටමත් ආරම්භ වී ඇත. පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර, එහිදී ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත් කරන ලෙස නියෝගය ලබා දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval