lung-cancer-rates-rise-among-non-smoking-women-in-asia

දුම්පානය නොකරන ආසියානු කලාපයේ කාන්තාවන් අතර පෙණහලු පිළිකා වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුමන හඳගල මහතා පවසයි.





සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා, මෙම තත්ත්වයට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැති නමුත්, පරිසර සාධක ඊට හේතු විය හැකි බවට ලොව පුරා පර්යේෂණ මගින් අනුමාන කෙරෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර දෙවනුවට බහුලම පිළිකාව ලෙස පෙණහලු පිළිකාව වාර්තා වන අතර, 2021 වසරේදී පමණක් නව රෝගීන් 2100ක් හඳුනාගෙන ඇත. කල් පවතින කැස්ස මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් විය හැකි බැවින්, රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් එය සියයට සියයකින් පූර්ණ සුවපත් කළ හැකි බව වෛද්‍ය හඳගල මහතා අවධාරණය කළේය.

වර්තමානයේදී කුඩා කැමරාවක් භාවිතයෙන් සිදුකරන නවීන සැත්කම් ඇතුළු ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජයේ රෝහල්වල පවතින බවද, වසරකට පෙණහලු පිළිකා සඳහා සැත්කම් 500ත් 600ත් අතර ප්‍රමාණයක් සිදුකරන බවද ඔහු පැවසීය.



මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වූ වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පෙන්වා දුන්නේ, පෙණහලු පිළිකා සඳහා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකාර පහසුකම් තම රෝහල සතුව පවතින බවයි. වැලිසර රෝහල ක්ෂය රෝගයට පමණක් ප්‍රතිකාර කරන ස්ථානයක් යන වැරදි මතය හේතුවෙන්, වෙනත් පෙණහලු ආශ්‍රිත රෝගවලින් පෙළෙන රෝගීන් එහි සේවය ලබාගැනීමට අනියත බියක් දක්වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.