
ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුතුන් සහ ඥාතීන් ජනාධිපති අරමුදලින් ප්‍රතිලාභ ලබා ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. 2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව වැඩසටහන මෙම කටයුතු සඳහා භාවිත කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අරමුදලින් ප්‍රතිලාභ ලැබූවන් අතර හිටපු ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් චන්ද්‍ර රාජකරුණා මහතාගේ පුත්‍රයා වන වත්මන් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද සිටින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
තවද, 2006 වසරේදී හිටපු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ ඥාතියෙකු වූ අයි. එන්. කොඩිතුවක්කු, හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ ඥාතියෙකු, දේශපාලන සබඳතා හරහා දිනේෂ් දොඩංගොඩ සහ කේ. කේ. පරණවිතාන යන අයද ප්‍රතිලාභ ලබා ඇති බව හෙළි විය.
ශිෂ්‍යත්ව සඳහා වෙන්කර ඇති මුදල් පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ 2005 වසරේදී රුපියල් මිලියන 73කට අධික මුදලක්ද, 2006 වසරේදී රුපියල් මිලියන 75කට අධික මුදලක්ද ගෙවා ඇති බවයි. එසේම, 2007 වසරේදී පුද්ගලයින් 42 දෙනෙකු සඳහා රුපියල් මිලියන 33කට අධික මුදලක්ද, 2008 වසරේදී පුද්ගලයින් 18 දෙනෙකු සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක්ද වෙන් කර තිබේ.
තවදුරටත් කරුණු පැහැදිලි කරමින්, 2009 වසරේදී පුද්ගලයින් සිව් දෙනෙකුට රුපියල් මිලියන 3කට අධික මුදලක්, 2010 වසරේදී තිදෙනෙකුට රුපියල් මිලියන 3කට අධික මුදලක්,
2011 වසරේදී දෙදෙනෙකුට රුපියල් මිලියන 1කට අධික මුදලක් සහ 2012 වසරේදී දෙදෙනෙකුට රුපියල් මිලියන 3කට අධික මුදලක් ලබාදී ඇත. 2014 වසරේදී එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 400,000කට අධික මුදලක් ගෙවා ඇති බවද අමාත්‍යවරයා හෙළි කළේය.
අතීතයේදී ජනාධිපති අරමුදලේ මුදල් ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන් සහ ඥාතීන් විසින් භාවිත කර ඇති බවට මේ හරහා ඔප්පු වන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval