it-is-against-the-law-for-the-opposition-to-hold-press-conferences-and-influence-court-decisions-npp-lawyers

 විපක්ෂය විසින් අධිකරණයෙන් බැහැරව සිදුකරන විවිධ ප්‍රකාශ තුළින් අධිකරණ ක්‍රියාවලියට සෘජු බලපෑම් එල්ල කරමින් සිටින බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා චෝදනා කරයි. ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා, මෙම ක්‍රියාකලාපය මගින් අධිකරණය කෙරෙහි මහජන අවිශ්වාසයක් ගොඩනැගිය හැකි බවත්, විපක්ෂයේ ප්‍රකාශ තුළ අධිකරණයට අපහාස කිරීමේ ලක්ෂණ අන්තර්ගත වන බවත් පෙන්වා දුන්නේය.





හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය ධුර කාලය තුළ කියුබාවේ සහ එක්සත් ජනපදයේ නිල සංචාරයක් නිමවා පැමිණෙමින් සිටියදී, සිය භාර්යාවගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා රජයේ මුදලින් ලන්ඩන් නුවර රැඳී සිටීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බව ඔහු සිහිපත් කළේය. එම සංචාරය සඳහා ස්ටර්ලින් පවුම් 44,000කට අධික, එනම් ශ්‍රී ලංකා රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් පමණ වන මුදලක් වැය කර ඇති බවට අධිකරණයට කරුණු වාර්තා වී ඇති අතර, දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ විමර්ශන ක්‍රියාත්මක වේ.

රජයට රුපියල් 5000 ඉක්මවූ මූල්‍යමය අලාභයක් සිදුකිරීමේ චෝදනා පොදු දේපළ පනත යටතේ ගැනෙන අතර, එවැනි චෝදනාවක් මත අත්අඩංගුවට පත්වන සැකකරුවෙකුට නඩු විභාගය අවසන් වන තෙක් ඇප ලබාදීමකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නීතියෙන් ප්‍රතිපාදන සලසා ඇති බවද ජනාධිපති නීතිඥවරයා පැහැදිලි කළේය.

රාජ්‍ය දේපළ අවභාවිතයට එරෙහි නීතිය ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සැමට එකසේ ක්‍රියාත්මක විය යුතු බව ඔහු අවධාරණය කළේය.

මහාචාර්ය ජී.එල්. පීරිස් වැනි විපක්ෂයේ නියෝජිතයන් විසින් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට නොගත යුතුව තිබූ බවට නීතිමය තර්ක ඉදිරිපත් කළද, විත්තියේ පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු එම කරුණු මාධ්‍ය හමු පවත්වමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම බරපතළ තත්ත්වයක් බව කුමරප්පෙරුම මහතා සඳහන් කළේය. විපක්ෂය මෙම මූල්‍ය අපරාධය සාමාන්‍යකරණය කිරීමට සහ අධිකරණය දේශපාලනීකරණය වී ඇති බවට මතයක් සමාජගත කිරීමට උත්සාහ දරන බවටද ඔහු චෝදනා කළේය.