investigation-underway-into-group-that-handcuffed-a-young-man-and-fled-claiming-to-be-from-the-police

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් තරුණයෙකුට පහරදී, අත්විලංගු දමා පළා යෑමේ පුවතක් කඩුවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ. අත්විලංගුව ගලවා ගැනීමට නොහැකිව අදාළ තරුණයා කඩුවෙල පොලිස් ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව මෙම සිදුවීම පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.



විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බව පවසමින් කඩුවෙල, වැලිවිට, වැවපාර ප්‍රදේශයේ බෝඩිම් කාමරයක වසරක පමණ කාලයක සිට නවාතැන් ගෙන සිටි මෙම තරුණයා ඉලක්ක කර ගනිමින් මෙම කණ්ඩායම ඊයේ (27) අලුයම එම නිවසට පැමිණ ඇත. ඔවුන් පොලීසියෙන් බව පවසා අදාළ තරුණයාගේ කාමරය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව නිවෙස් හිමියන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව කාමරය විවෘත කර දීමෙන් පසු ඔවුන් එහි යම් දෙයක් සොයා ඇති අතර, එම අවස්ථාවේදී කාමරයට පැමිණි තරුණයාට පහරදී අත්විලංගු දමා ඇත.

සැකකරුවන් සඟවා ඇති යම් දෙයක් ඉල්ලා තරුණයාට තර්ජනය කර ඇති නමුත්, පසුව ඔහුගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී තමන් සොයන පුද්ගලයා ඔහු නොවන බව වටහාගෙන තිබේ. තමන්ට වැරදීමක් වූ බව පවසා පිටව යෑමට සූදානම් වූ ඔවුන්ගෙන් සිය අත්විලංගු ගලවන ලෙස තරුණයා ඉල්ලා ඇත.

එහිදී, අත්විලංගුවේ යතුර ජීප් රථයේ ඇති බවත්, එය රැගෙන විත් ගලවන බවත් පවසා ගොඩනැගිල්ලෙන් පිටව ගිය පිරිස නැවත පැමිණ නැත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම කණ්ඩායම ත්‍රිරෝද රථයකින් පැමිණ පළා ගොස් ඇති බවයි. කඩුවෙල පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.