im-a-man-who-sold-vehicle-permits-and-distributed-money-to-people

 තමා කිසිදු වත්කමක් අයථා ලෙස උපයා නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම විමර්ශනයක් සඳහා සිය උපරිම සහයෝගය ලබාදෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අවධාරණය කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.





එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ අයථා ලෙස ධනය රැස්කළ ඉතිහාසයක් නොව, පෞද්ගලික ධනය පවා ජනතා සේවය සඳහා වැය කළ ඉතිහාසයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය. තමාට හිමිවූ වාහන බලපත්‍රය පවා අලෙවි කර එම මුදල් ජනතාව වෙනුවෙන් බෙදා දුන් බව සිහිපත් කළ අබේවර්ධන මහතා, සිය දේශපාලන ගමන් මග පිළිබඳ දන්නා ඕනෑම අයෙකු තම නිර්දෝෂීභාවය ගැන සාක්ෂි දරනු ඇති බවට විශ්වාසය පළ කළේය.

අදාළ විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටි ලිපි ලේඛන තමා විසින් ලබා දී නොමැති බවට ඇතැම් මාධ්‍ය පළකර තිබූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඒ මහතා කියා සිටියේය. අවශ්‍ය සියලුම ලේඛන නිසි පරිදි තමා විසින් අදාළ අංශ වෙත භාර දී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් තහවුරු කළේය.