i-will-not-commit-crimes-in-the-future-padmes-leaked-audio

 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ කෙහෙල්බද්දර පද්මේ  සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා අතර ඇති වූ තර්ජනාත්මක දුරකථන සංවාදය මේ වන විට මුළු පොලිස් දෙපාර්තමේන්තුව තුළම කතාබහට ලක්ව ඇති මාතෘකාවකි. විමර්ශන නිලධාරීන් පවසන්නේ පාතාලයද මේ නිසා කැලඹී ඇති බවකි. කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට සහ ඔහුගේ පවුලේ අයට මෙසේ මරණ තර්ජන එල්ල කර ඇත්තේ පද්මෙගෙ සමීපතමයකු වූ ගම්පහ පස් දේවා නමැත්තා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ඇරැඹීමත් සමඟිනි.



ගම්පහ පස් දේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ ඉකුත් 3 වැනි දින උදෑසන 8.10ට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 406 දරන ගුවන් යානයෙන් තායිලන්තය බලා යෑමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි මොහොතේය. එලෙස අත්අඩංගුවට ගැනුණු ඔහු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාරදී තිබිණි. ඉන් අනතුරුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ අධික්ෂණයෙන් ගම්පහ දේවාගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹුණේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ඇතුළු කණ්ඩායමක් විසිනි.




නිලධාරීන් පස් දේවාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ උඩුගම්පළ ප්‍රදේශයේ පිහිටි හෝටලයක හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවය. ඒ තොරතුර මත නිලධාර්න් උඩුගම්පළ බලා ගියද ඒ වන විටත් එම හෝටලය වසා දමා තිබිණි. අවසානයේ එහි දොරගුළු කැඩූ නිලධාර්න් හෝටලය තුළට ගොස් එය පරීක්ෂා කිරීමේදී එහි හෙරොයින් ග්‍රෑම් 440ක් සහ 9mm වර්ගයේ ජීව පතරොම් 9ක් ගැනීමට හැකිව තිබේ. පොලිස් නිලධාරීර්න් හෝටලයට කඩාවැදී එහි දොරගුළු කඩා හෝටලයට ඇතුළු වීම ගැන ඒ සැණින් විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ කෙහෙල්බද්දර පද්ම දැනගෙන තිබේ. ඒ හිතවතකු දුන් දුරකථන ඇමැතුමක් මඟිනි. ඒ සමඟම පල්මේට ඇතිව ඇත්තේ දැඩි කෝපයකි.


ඒ දොරගුළු කඩා වස දමා තිබූ තම හෝටලයට පොලිසිය ඇතුළු වීම හේතුවෙනි. උඩුගම්පළ එම හෝටලය කෙහෙල්බද්දර පද්මට අයත් එකක් බව කියයි. ගතවූයේ නිමේෂයකි. හෙරොයින් සහ ජීව උණ්ඩද සමඟ යළි පෑලියගොඩ යුනිට් එකට පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට දුරකථන ඇමැතුමක් ලැබී තිබේ. ඒ කෙහෙල්බද්දර පද්මමේ යැයි කියාගත් අයකුගෙනි.

දෙදෙනා අතර සංවාදය ඇරැඹුණේ පොලිසිය උඩුගම්පළ හෝටලයට කඩාවැදීම මුල්කරගනිමිනි.

“අපි ප්ලේ කරන්නේ ගේම් එකක්නේ. ඔයත් ප්ලේ කරන්නේ ගේම් එකක්. අපිත් ප්ලේ

කරන්නේ ගේම් එකක්.”


“ඔයාව බ්ලැක් මේල් කරන්න නෙවෙයි හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියන්න.” 


පද්මේ  නමැත්තාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ලින්ටන් ද සිල්වාද පැවැසුවේ, “හරි... හරි... විදියට කෙරෙයි” යනුවෙනි. 




“ඔබතුමාටත් ළමයෙක් ඉන්නවානේ. පවුලක් ඉන්නවනේ. මොකක් හරි පවුලක් ඉන්නවනේ. ඔබතුමාටත් ඉන්නවා නේද ළමයෙක්.”


එම ප්‍රකාශයත් සමඟ ලින්ටන්ගේ මළ පැන ගොස් තිබිණි.


“ඔව් ඉන්නවා. හරි ඒකෙන් තමුසෙ මොකක්ද කියන්නෙ. නැහැ ළමයෙක් ගැන කියලා මොකක්ද කියන්නේ. ඔය මොකක්ද කෙරෙන්න ඕන කියන්නකෝ”


“ඔබතුමා කරපු කියපු දේවල් ඔබතුමන් දන්නවනේ. අපි කොහොමත් මරණ සහතිකය අතේ තියන් ඉන්නේ. අපි මැරෙන්න බය නැහැ.”


ඒ සමඟ යළි ලින්ටන්ගේ කෝපය ඇවිස්සිණි.


“අපිත් බය නැහැ. අපි හැබැයි... වැඩ නැහැ. රට ඉඳන්... නැහැ...” 


දෙදෙනා අතර වූ සංවාදය ලින්ටන් ද සිල්වා නතර කළේ මෙලෙස පවසමිනි. ඔහේ ඉඳන්... බැහැ. මෙහාට ඇවිල්ල... වරං ඔහේ ඉඳන්... වැඩ ඕනේ නැහැ. මෙහාට වරෙන් කරනවනම් යකෝ තෝ හිතුවද තොන්ගේ පරම්පරාවම එහෙනම් මෙහෙ ඉන්නෙ. තොට කොන්දක් තියෙනව නම් වරෙන්කෝ මෙහෙදි කරන්න. තොපි නිකං රටවල්වල හැංගිලා... කතා කියන්නෙ. ෆෝන්වලින් වැඩක් නැහැ. ෆේස්ටු ෆේස් වරෙන්... පිරිමියෙක් වගේ...”


කෙසේ වෙතත් මෙම තර්ජනාත්මක ඇමැතුම සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල දැනුවත් කරන්නට විය. පසුව ඕලුගල විසින් සිද්ධිය වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරනු ලැබීය. ඉන් අනතුරුව ලින්ටන් ද සිල්වාගේ ආරක්ෂාව ගැන අවධානය යොමුකළ වැඩබලන පොලිස්පතිවරයා ලින්ටන් පදිංචි මිනුවන්ගොඩ, හීනටියන නිවෙසට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගත්තේය. ඒ සඳහා යෙදවූයේ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන්ය. ඊට අමතරව ප්‍රධාන පොලිස් පක්ෂකවරයාගේ ආරක්ෂාව සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීර්න් යොදවනු ලැබීය.


කෙසේ වෙතත් ලින්ටන් ද සිල්වා විසින් කෙහෙල්බද්දර පස්මේ නමැත්තාට එල්ල කළ වාග් ප්‍රකාශ සම්බන්ධයෙන් මේ දිනවල කාගේත් කතාබහට ලක්ව තිබේ. ඒ පාතාල කෙරුමන් සමඟ ගේම ඉල්ලන පොලිස් නිලධාර්න් ඉතා අල්ප නිසාය. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රාජකාරි කරන්නට ගොස් වෙඩි කා මැරෙන්නට එම නිලධාර්න් අකැමැති නිසාය. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියටද කරුණු ඉදිරිපත් කළ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන කෙහෙල්බද්දර පස්මේ නමැත්තා සහ විදේශගතව සිටින “දරූන්” සහ කමාන්ඩෝ සලින්ද නමැති පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තිදෙනා එක්ව ලින්ටන් ද සිල්වාට මෙසේ දුරකථන ඇමැතුම ලබාදී ඇති බවද අධිකරණය හමුවේ දන්වා සිටියේය.


මෙම දුරකථන ඇමැතුම වස්ඇප් මාර්ගයෙන් ලැබී ඇති අතර එම ඇමැතුම වෙනත් දුරකථනයකින් සම්පූර්ණයෙන්ම පටිගත කර ඇති බවත් එම පටිගත තැටි පොලිස් තාක්ෂණ කොට්ඨාසය වෙත ලබා දීමටද පියවර ගෙන ඇත. එම තැටිවල අන්තර්ගතය පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගෙන්ද වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇතැයි කියති. ලින්ටන් ද සිල්වා සහ කෙහෙල්බද්දර පද්මේ  පාර්ශ්වය අතර වූ මෙම තර්ජනාත්මක දුරකථන ඇමැතුම් ගැන රට තුළ මහත් ආන්දෝලනයක් පැතිරෙද්දී කෙහෙල්බද්දර පද්ම විසින් කළ කතාබහක් පෙරේදා සමාජමාධ්‍ය ජාලාවලද විකාශනය විය.




එහිදී කෙහෙල්බද්දර පද්ම පවසන්නේ මෙවැන්නකි.


“ඊයේ පෙරේදා ඉඳන් පොලිස් නිලධාරියකුට මම බැන්නා කියලා පොලිස් නිලධාරියා මට බැන්නා කියලා රෙකෝඩින් එකක් යනවනේ. ඇත්තටම ඒ රෙකෝඩ් එකේ මම නෙවෙයි.


“ඇත්තටම මගේ හොඳම යාළුවෙක් තමයි එයාපෝර්ට් එකේදී ගත්තේ. පොඩි කාලේ ඉඳලම හිටිය යාළුවෙක්. මගේ හෝටල් එකට ඇවිල්ලා තිබුණා ඒ කියන්නේ මගේ තාත්තා ඉන්න කාලේ හදපු හෝටල් එකක් 2011දී විතර මේ හෝටල් එක හැදුවේ මම. ඒ හෝටල් එකේ ගේට්ටු කඩාගෙන ගිහිල්ලා තිබුණා මේගොල්ලෝ, මාස 6ක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම කොහොම හරි පටන් ගත්ත දේ ඉවර කළා. මෙතැනින් එහාට මට ගැටෙන්න දෙයක් නැහැ. මට පාඩුවේ ඉන්න දුනොත් මම පාඩුවේ ඉන්නවා. මට ගැහැව්වොත් මම ගහනවා කාටත්”


කෙහෙල්බද්දර පද්ම සිය අදහස් ප්‍රකාශ කරමින් කියා ඇත.


කෙසේ වෙතත් රාජකාරි කරන පොලිස් නිලධාර්න් මෙවන් පාතාල සාමාජිකයන් විසින් දුරකථන ඇමැතුම් දෙනු ලබන්නේ අද ඊයේ සිට නොවේ. මීට පෙරද මෙවන් කතාබහක හඬපට මාධ්‍ය මඟින් විකාශය කර තිබිණි. ඇල්ටො ධර්මෙ නමැති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවකු එක්තරා පොලිස් නිලධාරියකුට බැන වදින ආකාරය එහි පටිගතව තිබූ අතර දුරකථන සංවාදයේදී එම නිලධාරියා ඇල්ටො ධර්මේ ඉදිරියේ ඇඹරෙන ආකාරය මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම නින්දාවක් වුවත් කෙහෙල්බද්දර පර්මේම්ගේ තර්ජනයට ප්‍රධාන පොලිස් පක්ෂක ලින්ටන් පිළිතුරු දුන් ආකාරය පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත්තේ ගෞරවයකි. එබැවින් මෙවන් තර්ජනවලට නොබියව රාජකාරි කරන නිලධාරීන් ආරක්ෂා කිරීම පොලිස්පතිවරයා ඇතුළු මුළු රජයේම වගකිවයුත්තකි. 


කීර්ති මෙන්ඩිස්