
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් රිවෝල්වරයක් සහ උණ්ඩ දහයක් සොරකම් කිරීමේ චෝදනාව මත එම පොලිස් ස්ථානයටම අනුයුක්ත සැරයන්වරයෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් සොරකම් කරන ලද ගිනි අවිය සිය නිල තොප්පිය තුළ සඟවාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇත.
මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ,
අවි ගබඩාවේ තිබූ 3.8 මි.මී. වර්ගයේ රිවෝල්වරයක් සහ උණ්ඩ 10ක් අස්ථානගත වී ඇති බවට එහි භාරකාර නිලධාරියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවය. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදුන් විමර්ශනවලදී, පොලිස් ස්ථානය ආසන්නයේ සවිකර තිබූ සීසීටීවී දර්ශන පරීක්ෂා කර තිබේ. එහිදී සැකකාර සැරයන්වරයා පසුගිය ජූලි 21 වන දින රාත්‍රියේ යමක් සිය තොප්පියේ සඟවාගෙන අවි ගබඩාව අසලින් පිටව යන අයුරු පැහැදිලිව සටහන් වී තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී, තමන් විසින් සොරකම් කරන ලද රිවෝල්වරය සහ උණ්ඩ, කුරුණෑගල,
මාවතගම ප්‍රදේශයේ පදිංචි මිතුරෙකුට රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කළ බවට ඔහු පාපොච්චාරණය කර තිබේ. කෙසේ වෙතත්, එම මිතුරාගේ නිශ්චිත ලිපිනයක් තමන් නොදන්නා බවද සැකකරු පොලිසියට පවසා ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල, පින්නදූව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සොරකම් කරන ලද ගිනි අවිය සහ එය මිලදී ගත් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval