
හෝමාගම ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ පහළොස් හැවිරිදි දැරියක්, විභාග ලකුණු අඩුවීම සම්බන්ධයෙන් පන්ති භාර ගුරුවරයෙකුගෙන් එල්ල වූ බව කියන පීඩනයක් හේතුවෙන් ඖෂධ පෙති පානය කර සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.
හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය, දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ අතර ඇගේ පියාද විදුහල්පතිවරයෙකි.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, වාර විභාගවලදී ලකුණු අඩුවීම හේතුවෙන් පන්තිභාර ගුරුවරයා විසින් අනෙකුත් සිසුන් ඉදිරියේදී පවා මෙම දැරියට නිරන්තරයෙන් දොස් පවරා ඇති අතර, එමගින් ඇය දැඩි මානසික පීඩනයකින් පසුවී තිබේ. මෑතකදී ඇති වූ හිසරදයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් පාසල් නොපැමිණි අවස්ථාවක, ඒ සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා ගුරුවරයා විසින් ඇයව පාසලේ විනය භාර හිමිනම වෙත යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
එහිදී ඇයට කිසියම් දඬුවමක් ලබා දී ඇති බවටද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සිදුවීමෙන් දැඩි සිත් තැවුලට පත්ව නිවසට පැමිණි සිසුවිය, නිවසේ තිබූ ඖෂධ පෙති වර්ග කිහිපයක් පානය කර ඇති බවත්, ඒ පිළිබඳව සිය සහෝදරියක දැනුවත් කිරීමෙන් පසු ඇයව වහාම වේරහැර පිහිටි යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇත. එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 31 වන දා ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval