
නිසිලෙස අවසර ලබා ගැනීමකින් තොරව සේවයට වාර්තා කිරීම පැහැර හරින තැපැල් සේවකයින්, සේවය අතහැර ගිය අය ලෙස සැලකීමට පියවර ගන්නා බවට තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් මගින් අවධාරණය කර ඇත. අද (22) දින සියලුම සේවකයින්ට රාජකාරි සඳහා වාර්තා කරන මෙන් දැඩි ලෙස දන්වා ඇති අතර, එම නියෝගය පිළිපැදීමට අපොහොසත් වන අයට වත්මන් මාසයට අදාළ වැටුප් ගෙවීම ප්‍රමාද වීමට හෝ
සම්පූර්ණයෙන්ම අහිමි වී යෑමට ඉඩ ඇති බවද ඔහු පෙන්වා දෙයි.වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින සේවකයින් සඳහා වැටුප් ගෙවීමට මුදල් ප්‍රතිපාදන වෙන් කළ නොහැකි බවට මහාභාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇති බව තැපැල්පතිවරයාගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ තත්ත්වය මත, සේවයට වාර්තා කරන සහ නොකරන සේවකයින් පිළිබඳව තොරතුරු වෙන් වෙන් වශයෙන් ලබා දෙන ලෙසට ද උපදෙස් ලැබී තිබේ. ඒ අනුව, වැඩවර්ජනය හේතුවෙන් රාජකාරියට නොපැමිණෙන සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවීම නොවැළැක්විය හැකි වනු ඇතැයි ඔහු සඳහන් කරයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම රාජකාරි සඳහා වාර්තා කරන ලෙස වර්ජනයේ නියුතු සියලුම සේවකයින්ට තැපැල්පතිවරයා දැනුම් දී සිටී. සේවක පැමිණීම විධිමත් කිරීමේ පියවරක් ලෙස මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ ඇඟිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍ර කිහිපයක් ස්ථාපිත කිරීමටද තමන් විසින් උපදෙස් ලබා දුන් බව රුවන් සත්කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval