දෙහිවල අත්තිඩිය, ප්‍රධාන පාරේ එම්නා මාවතේ පිහිටි නිවසක සේවය කළ ගෘහ සේවිකාවක්, එම නිවැසියන්ට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් සොරකම් කිරීමේ චෝදනාව මත ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 20 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අත්තිඩිය, අල්විස් පෙදෙසේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි. දීර්ඝ කාලයක් තිස්සේ අදාළ නිවසේ විශ්වාසවන්ත ලෙස සේවය කරමින් සිටි ඇය, කලින් කලට සැබෑ රන් භාණ්ඩ සොරකම් කර ඒ වෙනුවට ඒ හා සමාන පෙනුමැති කෘත්‍රිම ආභරණ ආදේශ කරමින් මෙම සොරකම සූක්ෂම ලෙස සිදුකර ඇති බවට පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ, ඔවුන්ගේ සියලු රන් ආභරණ ආරක්ෂිත පෙට්ටියක බහා මවගේ කාමරයේ වූ අල්මාරියක තැන්පත් කර තිබූ බවයි. 2025 ජනවාරි 17 වන දින මිතුරියකගේ විවාහ මංගල්‍යයක් සඳහා එම ආභරණ භාවිත කර නැවතත් එම ස්ථානයේම තැන්පත් කර ඇත. කෙසේ වෙතත්, පසුගිය 17 වන දා සිය රන් මාලයක් මාරු කිරීමේ අවශ්‍යතාවක් සඳහා පෙට්ටිය පරීක්ෂා කිරීමේදී එය එහි නොතිබීම හේතුවෙන් ගෘහ සේවිකාව පිළිබඳව සැක මතුවී පැමිණිල්ල ඉදිරිපත් කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇයගේ අත්තිඩියේ පිහිටි නිවසේ තිබී සොරකම් කරන ලද රන් භාණ්ඩ උකස් තැබූ බවට සනාථ වන උකස් කුවිතාන්සි කිහිපයක් සොයාගෙන ඇත. එම තොරතුරු ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට, ඒ වන විටත් උණු කර තිබූ රන් ගුලි ඇතුළු සොරකම් කරන ලද සියලුම රන් භාණ්ඩ තොගය සිය භාරයට ගැනීමට හැකිවී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval