the-couple-who-rented-a-luxury-house-in-kendaliyaddapaluwa-for-three-and-a-half-hundred-thousand-rupees-and-engaged-in-drug-trafficking

රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ කුලී නිවසක සඟවා තිබූ රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් හතක තොගයක් සමඟ අඹුසැමි යුවළක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (22) දින අත්අඩංගුවට ගන්නා ලදී. මෙම මත්ද්‍රව්‍ය වැටලීමේදී හෙරොයින් වලට අමතරව 'අයිස්' නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 700ක් ද පොලිස් භාරයට ගෙන ඇත.



මෙම වැටලීම සිදුකර ඇත්තේ අම්පාර, වැලන්කොටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

එම තොරතුරු මත පදනම්ව අදාළ නිවස සෝදිසි කිරීමේදී කාමරයක සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර යුවළ හෝකන්දර උතුර ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් පවත්වාගෙන යාමේ අරමුණින් මාසික කුලිය රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් ගෙවා මෙම නිවසේ සිය බාලවයස්කාර දරුවන් තිදෙනා සමඟ පදිංචිව සිට ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත. සැකකාර සැමියා කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර,

ඔහු මීට පෙර 2020 වසරේදී ද මත්ද්‍රව්‍ය සමඟ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවෙකි.

විදෙස්ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීමෙන් මෙම ජාවාරම සිදුකර ඇත්ද යන්න පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මූලික විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් සහ අම්පාර දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පරිදි, අම්පාර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි කලණ සිරි මහතාගේ මෙහෙයවීමෙන්, අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක කේ. එම්. ප්‍රියංකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.