2025 වසරේ මුල් මාස හය තුළ කැනඩාවෙන් සරණාගතභාවය ඉල්ලා අයදුම් කළ ඇමරිකානු පුරවැසියන්ගේ සංඛ්‍යාව පෙර වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව කැනඩාවේ ආගමන හා සරණාගත මණ්ඩලය (IRB) බ්‍රහස්පතින්දා නිකුත් කළ දත්ත වාර්තා පෙන්වා දෙයි.
2024 වසරට සහ 2019 න් පසු වෙනත් ඕනෑම වසරකට වඩා මෙම වසරේ මුල් භාගයේදී වැඩි ඇමරිකානුවන් පිරිසක් කැනඩාවේ සරණාගත තත්ත්වය සඳහා ඉල්ලුම් කර තිබීම විශේෂත්වයකි.මෙම දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස හය තුළ ඇමරිකානු පුරවැසියන් 245 දෙනෙකු සරණාගත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, 2024 වසර පුරාම එම සංඛ්‍යාව දැක්වුණේ 204ක් ලෙසය. කැනඩාවට ලැබෙන සමස්ත සරණාගත අයදුම්පත් 55,000 කට ආසන්න සංඛ්‍යාව හා සසඳන විට ඇමරිකානු ඉල්ලීම් කුඩා ප්‍රතිශතයක් වුවද, මෙම වර්ධනය සැලකිය යුතු මට්ටමක පවතී. ඓතිහාසිකව, කැනඩාව තුළ ඇමරිකානු සරණාගත ඉල්ලීම් සඳහා ලබාදෙන පිළිගැනීමේ අනුපාතය ඉතා අඩු මට්ටමක පැවතී ඇත.
මෙම සරණාගත ඉල්ලීම් පිටුපස ඇති නිශ්චිත හේතු දත්ත මගින් පැහැදිලි නොවුවද, ඇමරිකාව තුළ සංක්‍රාන්ති සමාජභාවීය (transgender) ප්‍රජාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම් මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව නීතිඥයින් පෙන්වා දෙයි. විශේෂයෙන්ම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑත වසරවලදී සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් සඳහා වන ලිංගභේදය තහවුරු කිරීමේ සත්කාර, හමුදා සේවය, නානකාමර භාවිතය සහ ඇතැම් ක්‍රීඩාවලට සහභාගී වීම සම්බන්ධයෙන් පැනවූ සීමා කිරීම් මෙම තත්ත්වයට බලපා ඇත. මෙම ප්‍රතිපත්ති පීඩාකාරී ලෙස සලකන ඇතැම් ඇමරිකානුවන්, කැනඩාව තුළ ආරක්ෂාව පැතීමට උත්සාහ දරමින් සිටී.
කැනඩාවේ සරණාගතභාවය ලබාගැනීම සඳහා, අයදුම්කරුවන් විසින් තමන්ට ඇමරිකානු එක්සත් ජනපදය තුළ කොතැනකවත් ආරක්ෂිතව ජීවත් විය නොහැකි බව ඔප්පු කළ යුතුය. ඇමරිකාවේ LGBTQ+ ප්‍රජාවට සිදුවන සැලකීම් පිළිබඳව විමර්ශනය කරන 'හියුමන් රයිට්ස් වොච්' වැනි සංවිධානවල ලේඛන, කැනඩාවේ ආගමන හා සරණාගත මණ්ඩලය විසින් සිය ජාතික ලේඛන පැකේජයට මෑතකදී ඇතුළත් කර තිබීමද මෙහිදී අවධානයට ලක්විය යුතු කරුණකි.
කෙසේ වෙතත්, ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කැනඩාවේ සරණාගත තත්ත්වය ඉල්ලා සිටින පුද්ගලයින්, "සැබෑ බිය සහ පීඩාවන්ට" මුහුණ දෙන පුද්ගලයින් සඳහා වෙන්විය යුතු අවකාශය ලබාගන්නා බවයි. කැනඩාව සහ ඇමරිකාව අතර පවතින "සුරක්ෂිත තෙවන රට ගිවිසුම" (STCA) අනුව, වෙනත් රටවලින් පැමිණ ඇමරිකාව හරහා කැනඩා දේශසීමාව තරණය කරන සරණාගතයින් ආපසු හරවා යවනු ලබන්නේ, ඔවුන් පළමුවෙන් පැමිණි "සුරක්ෂිත" රට තුළ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කළ යුතුය යන පදනම මතය. 2023 මාර්තු 25 වන දින සිට මෙම ගිවිසුම අනවසර දේශසීමා තරණය කරන්නන් සඳහා ද ව්‍යාප්ත කර ඇත.
මෙම ඉල්ලීම් පිටුපස ඇති නිශ්චිත හේතු දත්තවල පැහැදිලිව දක්වා නොමැති වුවද, රොයිටර් පුවත් සේවය සමඟ කතා කළ නීතිඥයින් අට දෙනෙකු සඳහන් කර ඇත්තේ රට හැර යාමට අපේක්ෂා කරන සංක්‍රාන්ති සමාජභාවීය ඇමරිකානුවන් වැඩි පිරිසක් තමන් හා සම්බන්ධ වන බවයි. සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවක් අප්‍රේල් මාසයේදී කැනඩාවේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කර ඇති අතර, තවත් මවක් සිය තරුණ සංක්‍රාන්ති සමාජභාවීය දියණිය වෙනුවෙන් එවැනිම ඉල්ලීමක් ගොනු කර ඇත.
කැනඩාවේ සරණාගත ක්‍රියාවලියේදී, පළමුව සුදුසුකම් ලැබීමේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වේ.
එහිදී, කැනඩා දේශසීමා සේවා ඒජන්සියේ (CBSA) හෝ ආගමන, සරණාගතයින් සහ පුරවැසිභාවය පිළිබඳ කැනඩා දෙපාර්තමේන්තුවේ (IRCC) නිලධාරීන් විසින් අයදුම්කරුගේ අනන්‍යතාව, ආරක්ෂක පරීක්ෂාව සහ සම්මුඛ පරීක්ෂණය මත පදනම්ව එම ඉල්ලීම ආගමන හා සරණාගත මණ්ඩලය වෙත යොමු කරන්නේද යන්න තීරණය කරයි. ඉන් අනතුරුව, එම මණ්ඩලය විසින් අයදුම්කරු එක්සත් ජාතීන්ගේ සරණාගත සම්මුතියේ අර්ථ දැක්වීමට අනුව සරණාගතයෙකුද නැතහොත් ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයෙකුද යන්න ඇගයීමට ලක් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval