four-arrested-for-stealing-three-wheelers-changing-their-colors-and-selling-them

 විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථවල අනන්‍යතාව වෙනස් කර නැවත අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් සිව් දෙනෙකු වැල්ලම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සොරකම් කරන ලද ත්‍රිරෝද රථවල අංක තහඩු සහ චැසි අංක වෙනස් කර, නව වර්ණයක් ආලේප කිරීමෙන් පසු ඉහළ මිලකට විකිණීම සිදුකර ඇති බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.





සාලමුල්ල පොලිස් මුරපොළේ සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වැටලීම සිදුකර තිබේ. එම ස්ථානයේ තිබී, මෙලෙස වෙනස්කම් සිදුකරන ලද ත්‍රිරෝද රථ දෙකක් සහ වෙනස් කිරීම සඳහා සූදානම් කර තිබූ තවත් සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා වැල්ලම්පිටිය, කැලණිය, නවගමුව සහ ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන අගෝස්තු මස 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.