businessmans-9-buses-run-free-in-memory-of-his-parents

 වසර හයකට පෙර මියගිය මව සහ වසර දෙකකට පෙර මියගිය පියා සිහිකරමින්, මවගේ 51 වන ජන්ම දිනය යෙදී තිබූ පසුගිය 30 වන දා, බස් රථ නවයක් යොදවා දවස පුරා මගී ජනතාවට නොමිලේ ප්‍රවාහන සේවාවක් සැපයීමට පුතුන් දෙදෙනෙකු කටයුතු කළ පුවතක් කොට්ටාවෙන් වාර්තා වේ.



කොට්ටාව, සමන්පුර පදිංචිව සිටි ප්‍රියංගිකා පෙරේරා සහ ඇම්.ඒ. රොෂාන් යන දෙමාපියන් සිහිපත් කරමින් ඔවුන්ගේ පුතුන් වන ඇම්.ඒ.ඩී. ඉසුරු සහ ඇම්.ඒ. අසංක විසින් මෙම සත්කාරය හයවන වරටත් සංවිධානය කර තිබිණි. තමන්ගේම පෞද්ගලික බස් රථ පහක් සහ මිතුරන් විසින් ලබාදුන් තවත් බස් රථ හතරක් ද ඇතුළුව මෙම සේවාව සඳහා බස් රථ නවයක් යොදවා තිබීම විශේෂත්වයකි.



ඒ අනුව කොට්ටාව-පිටකොටුව (138) මාර්ගයේ බස් රථ හතක්ද, දියගම-පිටකොටුව සහ කොට්ටාව-ගල්කිස්ස යන මාර්ගවල එක් බස් රථය බැගින්ද දවස පුරා මගීන්ගෙන් කිසිදු මුදලක් අය නොකර ධාවනයේ යෙදවිණි. මෙම පුණ්‍ය කටයුත්ත සඳහා දායක වූ බස් රථ නවයේම සේවක මඩුල්ලද සිය දෛනික වැටුප ලබා නොගෙන ස්වේච්ඡාවෙන්ම සේවය කිරීමද කැපී පෙනුණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉසුරු මහතා සඳහන් කළේ, තම දෙමාපියන් ආරම්භ කළ බස් රථ ව්‍යාපාරය මේ වනවිට තමන් සහ තම සොහොයුරා විසින් පවත්වාගෙන යන බවයි. තමන්ව මෙලොවට බිහිකොට ජීවත් වීමට මග පෙන්වූ දෙමාපියන් වෙනුවෙන් සාද පවත්වා විනෝද වෙනවාට වඩා, එදිනෙදා දිවි ගැටගසා ගැනීමට වෙහෙසෙන මගී ජනතාවට මෙවැනි සේවයක් සැලසීම ඉමහත් පිනක් බව තමන් විශ්වාස කරන බැවින් මෙම කාර්යයට යොමු වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.



gossiplanka image 2


gossiplanka image 3