former-igp-deshabandu-tennakoon-remanded-for-a-week

 2022 වසරේ මැයි මස 09 වන දින ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අගෝස්තු 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුළි ලංකාපුර මහත්මිය අද (21) නියෝග කළාය.

අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, සාමාන්‍ය සැකකරුවෙකුට වඩා වෙනස් සැලකිල්ලක් ඔහු වෙත දක්වා ඇති බවක් නිරීක්ෂණය විය.

අද දින පස්වරු 12.55ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තෙන්නකෝන් මහතා අධිකරණය වෙත රැගෙන එන ලද අතර, එම අවස්ථාවේදී අදාළ නඩු ශාලාවේ වෙනත් නඩුවක් විභාග වෙමින් පැවතිණි. නඩු විභාගයක් පවතින අතරතුර සැකකරුවෙකු අධිකරණ භූමියට ගෙන ආ විට, නඩුව කැඳවන තෙක් අධිකරණ සිර මැදිරියේ රඳවා තැබීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වුවද,

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව අධිකරණ ශාලාවෙන් පිටත රඳවා තබා ගැනීමට කටයුතු කර තිබිණි. පසුව, මහේස්ත්‍රාත්වරිය කෙටි වේලාවකට අධිකරණ කටයුතු නවතා ඉන් පිටව ගිය අවස්ථාවේදී, සැකකාර තෙන්නකෝන් අධිකරණ ශාලාව තුළට ගෙන ගොස් අසුනක හිඳුවා ඇති අතර, මහේස්ත්‍රාත්වරිය නැවත පැමිණීමට ආසන්නයේදී ඔහුව ශාලාවෙන් පිටතට ගෙන යන ලදී.

නඩුව කැඳවීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණයට කරුණු දක්වමින්, මෙම සැකකරු නීතිය මගහරිමින් කටයුතු කරන බවත්, ඔහු ඇප මත මුදා හැරියහොත් තවමත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත පොලිස් නිලධාරීන්ට බලපෑම් එල්ල විය හැකි බවත් පෙන්වා දුන්නේය. 2022 මැයි 09 වන දා අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස නැවැත්වීමට අවස්ථා කිහිපයක් තිබුණද,

ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා ලෙස සැකකරු එය හිතාමතාම පැහැර හැරි බවත්, එය නොසැලකිල්ලක් නොව අපරාධයට ආධාර අනුබල දීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තර්ක කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින්, මෙම ක්‍රියාවලිය ද්වේශ සහගත එකක් බවත්, අභියාචනාධිකරණය මගින් මීට පෙර තම සේවාදායකයාට එරෙහිව සාක්ෂි නොමැති බවට තීන්දු කර තිබූ බවත් සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුව තාවකාලිකව අත්හිටුවා තිබුණද, අවසන් තීන්දුවක් ලබා දී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. වසර 36ක සේවා කාලයක් සහිත 36 වන පොලිස්පතිවරයා ලෙස "යුක්තිය" මෙහෙයුම වැනි වැඩසටහන් හරහා ඔහු ඉටු කළ සේවයද නීතිඥවරයා අධිකරණයේ අවධානයට යොමු කළේය.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය,

විමර්ශන සඳහා තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති පොලිස් නිලධාරීන්ගේ තරාතිරම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ අතර, ඔවුන් පහළ මට්ටමේ නිලධාරීන් බවට පිළිතුරු ලැබිණි. අනතුරුව, සැකකරු අගෝස්තු 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, ඊළඟ නඩු දිනයට පෙර අදාළ සියලුම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඒවායේ සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. විත්තියේ ඉල්ලීමක් සලකා බැලූ ඇය, සැකකරුට බන්ධනාගාරය තුළ විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසද බන්ධනාගාර අධිකාරියට නියම කළාය.