rajapaksa-anniversary-notices-permission-granted-to-amend-the-indictment-in-the-case-against-lakshman-yapa

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරයක් සැමරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුදලින් පුවත්පත් දැන්වීම් පළ කර රජයට රුපියල් ලක්ෂ 17කට අධික මූල්‍ය පාඩුවක් සිදුකළේ යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ තවත් අයෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ

අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කොළඹ මහාධිකරණය අවසර ලබාදී තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා මෙම අවසරය ලබා දුන්නේ පෙරේදා (20) නඩුව කැඳවූ අවස්ථාවේදීය.



මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන මහත්වරුන්ය. මීට වසර 11කට පෙර, එනම් 2014 වසරේ ඔක්තෝබර් 01 සහ දෙසැම්බර් 12 අතර කාලය තුළ, රාජ්‍ය සේවකයන් ලෙස කටයුතු කරමින් රජයට පාඩුවක් වන බව දැන දැනම මෙම දැන්වීම් පළ කිරීමට කුමන්ත්‍රණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

2014 නොවැම්බර් 19 වන දින සිංහල සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත් එකොළහක දැන්වීම් පළකිරීම මගින් රජයට රුපියල් 1,748,877ක පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ. අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ එන ‘දූෂණය’ නැමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල කර ඇත. නඩුව සඳහා සාක්ෂිකරුවන් 15 දෙනෙකු සහ ලේඛන 21ක් ඉදිරිපත් කරන බව පැමිණිල්ල අධිකරණයට දන්වා ඇත.



නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර ඉල්ලා සිටි අතර, ඊට විරුද්ධත්වයක් නොමැති බව විත්ති පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දැන්වූහ. කරුණු සලකා බැලූ විනිසුරුවරයා, සංශෝධනයට අවසර ලබා දෙමින් නඩුව නැවත ඔක්තෝබර් 10 වන දින කැඳවීමට නියම කළේය. සංශෝධිත අධිචෝදනා පත්‍රය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අතරතුර විත්තිකරුවන්ට කියවා දීමට නියමිතය.