prison-officer-lalith-who-was-caught-with-madush-in-dubai-is-shot-dead-in-bandaragama

 බණ්ඩාරගම, තුන්බෝධිය ප්‍රදේශයේදී  අද (21) පස්වරු 6.00ට පමණ මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබේ. බොල්ගොඩ පාලම ආසන්නයේදී එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයා සිය රථය තුළම ජීවිතක්ෂයට පත්ව ඇති බව බණ්ඩාරගම පොලීසිය තහවුරු කළේය. 



මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලලිත් කුමාර කෝදාගොඩ නම් අයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් හිටපු බන්ධනාගාර නිලධාරියා විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.

පානදුර දෙසින් බණ්ඩාරගම දෙසට සිය මෝටර් රථය පදවාගෙන යමින් සිටි ඝාතනයට ලක්වූ පුද්ගලයා, බොල්ගොඩ පාලම පසුකිරීමත් සමඟ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පානදුර දෙසටම පලාගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.



අපරාධය සිදු වූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියකට භාවිත කරන උණ්ඩ කොපු 25කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිදුවීමත් සමඟ පානදුර - රත්නපුර මාර්ගයේ බොල්ගොඩ පාලම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගත් අතර, එය පාලනය කිරීමට රථවාහන පොලිස් නිලධාරීන් කටයුතු කරනු දක්නට ලැබිණි. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද යොදවා තිබේ.

කළුතර නියෝජ්‍ය පොලිස්පතිනී ඩබ්ලිව්. ජී. පද්මිණී සහ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත, බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ මූලිකත්වයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වේ.



gossiplanka image 2