ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා වත්මන් නීති තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බව, අද දින වැඩ භාරගත් නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කරයි. වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සිදුකරන විශේෂ වැටලීම්, පවතින නීතිමය රාමුව යටතේ අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි බව තමන් ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. එම ගැටලු නිරාකරණය සඳහා නව නීති සම්පාදනය කරමින් සිටින බවත්, ජාත්‍යන්තර ප්‍රජාවේ පූර්ණ සහාය ද ඒ සඳහා ලැබී ඇති බවත් ඔහු පැවසීය.
විශේෂයෙන් ඉහළ ගොස් ඇති වෙඩි තැබීම් ඇතුළු අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා පවතින නීතිවල අඩුපාඩු හඳුනාගෙන ඒවාට පිළියම් යොදමින් සිටින බව වීරසූරිය මහතා සඳහන් කළේය. මෙම අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස විදෙස්ගතව සිටින පුද්ගලයන් සහ ඔවුන්ගේ මෙරට සිටින ගෝලයන් ක්‍රියාත්මක වන බවත්, ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අය මෙන්ම පොලිසියේම ඇතැම් නිලධාරීන් ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇති බවත් ඔහු අනාවරණය කළේය.
තම පළමු පියවර වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තුළින්ම පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම බව අවධාරණය කළ පොලිස්පතිවරයා, ඉන් අනතුරුව සමාජය වෙත අවධානය යොමු කරන බව පැවසීය. අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තහවුරු වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්,
වරදකරුවන් වුවහොත් වහාම සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
සමාජය තුළ අවි ආයුධ විශාල ප්‍රමාණයක් සංසරණය වන බව පිළිගත් නව පොලිස්පතිවරයා, ත්‍රිවිධ හමුදාවට අයත්ව තිබූ, එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ මෙන්ම සන්නද්ධ හමුදා සහ පොලිසියෙන් සොරකම් කරන ලද ගිනි අවි ද මේ අතර වන බව සඳහන් කළේය. පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ගිනි අවි පිළිබඳව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval