borella-timekeeper-remanded-for-accepting-a-bribe-of-rs-200-for-a-preferred-bus-journey

පෞද්ගලික බස් රථයක එක් ගමන් වාරයක් සඳහා ධාවන වේලාවන් ලබාදීමට රුපියල් 200 බැගින් අල්ලස් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු, අගෝස්තු මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ඊයේ (13) මෙම නියෝගය ලබා දෙන ලදී.



මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අනුබද්ධව බොරැල්ල ප්‍රදේශයේ සේවය කළ සංජිව උදය කුමාර නැමැති වේලා සටහන්කරුවෙකි. විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ,

පෞද්ගලික බස් රථවල ධාවන සටහන් පත්‍ර අත්සන් කර, නියමිත ගමන් වාර සහ වේලාවන් ලබාදීම සඳහා එක් ගමනකට රුපියල් 200ක මුදලක් සැකකරු විසින් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවයි.

හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත. අනතුරුව, උපාය දූතයකු යොදා ගනිමින් සිදුකළ මෙහෙයුමකදී කඩුවෙල බස් නැවතුම්පොළේදී සැකකරු අල්ලස් ලබාගන්නා අවස්ථාවේම අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.



කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, තම සේවාදායකයා සමග ඇති පෞද්ගලික අමනාපයක් මත පැමිණිලිකරු විසින් මෙම ව්‍යාජ පැමිණිල්ල සිදුකර ඇති බවයි. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, සැකකරු අගෝස්තු 19 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කළේය.