dont-get-caught-up-in-organized-programs-promoting-homosexuality-agaradaguru-thero

 විදේශීය සංවිධානවල මූල්‍ය ආධාර ඇතිව ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ චෝදනා කරති. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ ඊයේ (අගෝ. 14) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.





මෙම වැඩසටහන් මාලාව මෙරට තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බවත්, ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින් ද මෙම ක්‍රියාවලියට සිය ආශිර්වාදය ලබා දී ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවත් කාදිනල් හිමියෝ සඳහන් කළහ.

ලිංගික අනන්‍යතාවය වෙනස් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට මනෝ වෛද්‍යවරුන් හරහා සහතිකයක් ලබාගෙන, එමගින් උපතින් ලද ලිංගිකත්වය වෙනස් කරමින් නව උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අවකාශය සලසා දී ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම ක්‍රමවේදය හරහා සමලිංගික විවාහ සඳහා නීතිමය පසුබිමක් නිර්මාණය වෙමින් පවතින බවද උන්වහන්සේ විවේචනය කළහ.

මෙය මෙරට විවාහ සංස්ථාව දෙදරා යැවීමේ සහ රටේ අනාගතය මෙන්ම බුද්ධ ශාසනය වැනි ආගමික සාරධර්ම පද්ධතීන්ට හානිකර විය හැකි රහසිගත වැඩපිළිවෙළක් බව කාදිනල් හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

කෙසේ වෙතත්, සංක්‍රාන්තික ලිංගික අවශ්‍යතා සහිත දරුවන්ට කිසිදු ආකාරයක හිරිහැරයක් සිදු නොකළ යුතු බවත්, ඔවුන්ට ගෞරවයෙන් සැලකීම සැමගේ යුතුකමක් බවත් උන්වහන්සේ සිය ප්‍රකාශය තුළින් අවධාරණය කළහ.