sltb-and-private-bus-services-to-resume-today-according-to-a-joint-schedule-single-driver-service-for-more-than-4-hours-suspended

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සහ පෞද්ගලික අංශය යටතේ පවතින දුරගමන් සේවා බස් රථ, පොදු කාලසටහනක් යටතේ ධාවනය කරවීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මෙම නව ඒකාබද්ධ ක්‍රමවේදය අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එම කොමිෂන් සභාව නිවේදනය කරයි.





මෙම වැඩපිළිවෙල යටතේ කොළඹ සිට දිවයිනේ ප්‍රධාන නගර රැසක් වෙත ධාවනය වන බස් රථ ගණනාවක් ඇතුළත් කර ඇත. ඒ අනුව කොළඹ – හලාවත, කොළඹ – පුත්තලම, කොළඹ – ආනමඩුව, කොළඹ -එළුවන්කුළම, කොළඹ – කල්පිටිය මෙන්ම මීගමුව – කල්පිටිය යන මාර්ගවල බස් රථ මෙම පොදු කාලසටහනට අනුගත වනු ඇත. ඊට අමතරව කොළඹ සිට මන්නාරම, තලෙයිමන්නාරම, කුලියාපිටිය, නිකවැරටිය, අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චිය, යාපනය, කන්කසන්තුරේ, කරෙයිනගර් සහ තුන්නුක්කායි දක්වා ක්‍රියාත්මක වන බස් සේවා ද මීට අයත් වේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, මෙම ඒකාබද්ධ කාලසටහනට අනුව සියලුම ගමන්වාර කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි. මෙතෙක් පැවති වෙන වෙනම ස්ථානවලින් ගමන් ආරම්භ කිරීමේ ක්‍රමවේදය මින් නතර වනු ඇත.



මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීමත් සමග මගී ආරක්ෂාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටද අවධානය යොමු කර තිබේ. පැය හතරහමාරක ධාවන කාලයකින් අනතුරුව, බස් රථයේ රියදුරුට විවේකයක් ලබාගැනීම සඳහා නිශ්චිත ස්ථානයකදී අවස්ථාව සලසා දීමට විධිවිධාන යොදා ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

තවද, දුරගමන් සේවා අතරතුර බස් රථ නතර කරනු ලබන ආපනශාලාවල මගීන් සඳහා සපයනු ලබන ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව නිරන්තර නියාමනයක් සිදුකිරීමටද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කරන බව පී.ඒ චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.