doctors-opposition-to-allocating-wards-at-kalutara-hospital-to-moratuwa-medical-faculty

 මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා කළුතර ශික්ෂණ රෝහලේ පවතින වාට්ටු සහ ඒකක ලබා දීමට ගෙන ඇති තීරණයකට එරෙහිව එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් අතර විරෝධයක් මතු වී තිබේ. අලුතින් යටිතල පහසුකම් සංවර්ධනය නොකර, දැනට රෝගීන් සඳහා භාවිත කරන වාට්ටු

කොටස් නව මහාචාර්ය ඒකක සඳහා ලබා දීමට රෝහල් අධ්‍යක්ෂවරයා එකඟත්වය පළ කිරීම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.



මොරටුව වෛද්‍ය පීඨයේ ශික්ෂණ රෝහල ලෙස කළුතර රෝහල නම් කර සැලකිය යුතු කලක් ගතවී ඇතත්, වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට අවශ්‍ය මහාචාර්ය ඒකක සඳහා නව යටිතල පහසුකම් ඉදි කර නොමැත. වෛද්‍ය පීඨයේ ජාත්‍යන්තර ප්‍රතීතනය සඳහා අවශ්‍ය ශික්ෂණ රෝහල් පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, දැනට රෝහලේ ක්‍රියාත්මක කායික, ශල්‍ය, ළමා සහ නාරිවේද ඒකකවලින් කොටසක් තවත් මහාචාර්ය ඒකකයක් පිහිටුවීම සඳහා වෙන් කිරීමට පසුගිය ජූලි 28 වන සඳුදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත.

එමෙන්ම, රෝහලේ පවතින ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තනතුරු දෙකෙන් එකක්, ළමා රෝග පිළිබඳ මහාචාර්ය ඒකකයක් පිහිටුවීමත් සමඟ යටපත් කිරීමටද එහිදී තීරණය කර තිබේ.

මෙම තීරණය හේතුවෙන් දැනට රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සේවාවන් පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ සීමා වන බවත්, රෝහලේ සීමිත ශල්‍යාගාර භාවිතය සම්බන්ධයෙන් දැඩි තදබදයක් සහ තරගකාරී තත්ත්වයක් නිර්මාණය වන බවත් පෙන්වා දෙමින් විශේෂඥ වෛද්‍යවරු සිය විරෝධය පළ කර ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ළමා රෝග විශේෂඥ වෛද්‍ය තනතුරක් මෙලෙස අහිමි කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇති බවද වාර්තා වේ.

මේ අතර, පැන නැගී ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සහ ඒ සඳහා ගත යුතු විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හෙට (අගෝස්තු 02) කළුතර රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.