හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කරන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කර තිබේ.
රජයේ නිලධාරියෙකු ලෙස මෙන්ම වෛද්‍ය ආචාර ධර්මවලට අනුව රෝගියෙකුගේ රහස්‍ය තොරතුරු බාහිර පාර්ශ්ව වෙත හෙළි කිරීමට කිසිදු වෛද්‍යවරයෙකුට නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.ඊයේ (27) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර ලැබුවේ අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අංශයෙහි නොවන බවත්, රෝහලට ඇතුළත් වන ඕනෑම පුද්ගලයෙකු රෝගියෙකු පමණක් වන බැවින් ඔහු පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට කිසිදු අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම වෛද්‍යවරයා සිදුකළ ඇතැම් ප්‍රකාශ සාවද්‍ය බවට ද ඔහු චෝදනා කළේය.
කෙසේ වෙතත්, මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ තමන් කිසිදු විනය විරෝධී හෝ ආචාර ධර්මයන්ට පටහැනි ක්‍රියාවක් සිදු නොකළ බවයි. තමා වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු හෙළි කළේ ඒ මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ පූර්ණ අවසරය ඇතිව බව ඔහු අවධාරණය කළේය. රෝගියෙකුගේ අවසරය මත තොරතුරු හෙළි කිරීමට වෛද්‍යවරුන්ට හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය පිළිබඳව ජනතාව තුළ වූ නොසන්සුන්තාවය දුරුකිරීමේ අරමුණින්, සද්භාවයෙන් යුතුව තමන් මෙම ප්‍රකාශ සිදුකළ බව වෛද්‍ය බෙල්ලන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. තමා මූලිකවම ප්‍රකාශ කළේ විජලන තත්ත්වය හේතුවෙන් ඇතිවූ සංකූලතාවයක් පිළිබඳව පමණක් බවත්, අනෙකුත් තොරතුරු හෙළිදරව් කළේ අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවත් ඔහු පැවසීය.
මේ අතර යූටියුබ් නාලිකාවකට සම්බන්ධවෙමින් රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයා පවසා සිටියේ තමන් නියෝජ්‍ය අධ්‍යක්ෂ මිස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හෝ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ නොවන බවයි. තමාට උඩින් පිහිටුවා තිබෙන ඒ තනතුරු දෙකෙහි අය මේ ගැන කිසිදු ප්‍රකාශයක් නොකර සිටි නිසා තමා මාධ්‍ය වෙත අදහස් පළ කළ බවයි.
කෙසේ වෙතත් ඔහු කියූ රනිල්ගේ සාමා්‍ය මට්ටමේ රෝගී තොරතුරු හා උසාවියේදී නීතීඥයින් ඉදිරිපත් කළ බරපතල රෝගී තත්වයන් අතර පරස්පරතා පැවතිණි. රුක්ෂාන් බෙල්ලන රනිල්ගේ ධමනි අවහිරතාවයක් ගැන සඳහන් නොකළ නමුත් උසාවියේදී අතිශොක්තියෙන් එම කරුණු ඉදිරිපත් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval