orders-to-call-wimals-petitions-against-the-digital-id-card-project-on-october-17

ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඔක්තෝබර් මස 17 වන දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම් ඊයේ (27) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.



මෙම ව්‍යාපෘතියට අදාළව ඉන්දීය රජය සමග 2022 වසරේදී ඇතිකරගත් ගිවිසුම සංශෝධනය කිරීම සඳහා, පාර්ලිමේන්තුව දැනුවත් නොකර අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ගෙන ඇති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් පෙන්වා දෙති. ශ්‍රී ලාංකිකයන්ගේ ජීව දත්ත ඇතුළු සංවේදී තොරතුරු ඉන්දියාව අතට පත්වීමෙන් මෙරට ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට දැඩි තර්ජනයක් එල්ලවන බව ඔවුහු චෝදනා කරති.



පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දේශීයව ඩිජිටල් හැඳුනුම්පතක් සැකසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ඉන්දීය සමාගමකට පැවරීම අත්තනෝමතික සහ නීති විරෝධී බව ද පෙත්සම්කරුවන්ගේ තර්කයයි. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින්, අදාළ අවබෝධතා ගිවිසුම සහ කැබිනට් තීන්දු බලරහිත කරන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී, වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය මණ්ඩලය වෙත මෙතෙක් නොතීසි ලැබී නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැන්වීය. කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කිරීමට නියම කරමින් පෙත්සම් විභාගය ඔක්තෝබර් 17 වන දිනට කල් තැබීය.