කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උජිත් පී. ලියනගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) දින අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ බිරිඳ සම්බන්ධ නිධන් හැරීමේ සිදුවීමක් පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල විහාරස්ථානයක නිධන් හෑරීමේ චෝදනාව මත නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු පසුගිය අගෝස්තු 15 වන දා අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, සිය බිරිඳ සහ සෙසු පිරිස විසින් සිදුකළ මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා කල්තියා දැනුවත්ව සිට ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවයි. එම සිදුවීම සිදුවන අවස්ථාවේදී ඔහු අනුරාධපුර ප්‍රදේශයේ රැඳී සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
තම බිරිඳව මුදා ගැනීම සඳහා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු අනුරාධපුරයේ පොලිස් ප්‍රධානීන්ට බලපෑම් කළ බවටද චෝදනා එල්ල වී තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් මත මෙම සිදුවීම සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබූ අතර, දුරකථන දත්ත විශ්ලේෂණය සහ ආරක්ෂක කැමරා දර්ශන වැනි විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති උජිත් පී. ලියනගේ මහතා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval