children-who-go-online-alone-in-their-rooms-have-become-victims-of-tiktok

 "ටික්ටොක්" වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා සංවිධානය වන කණ්ඩායම් සමග දරුවන් සම්බන්ධ වීමේ බරපතළ අනතුරක් පිළිබඳව පොලීසිය අනතුරු අඟවයි. මෙවැනි කණ්ඩායම් හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීමේ සහ වෙනත් බරපතළ අපරාධ සඳහා දරුවන් ගොදුරු කරගැනීමේ

ප්‍රවණතාවක් පවතින බව මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී, ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය පවසයි.



ගතවූ දින හතළිහක පමණ කාලය තුළ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් බරපතළ ගණයේ පැමිණිලි 20ක් පමණ ලැබී ඇති බවද ඇය සඳහන් කළාය. ඇතැම් අපරාධකරුවන් මෙම කණ්ඩායම් ඔස්සේ දරුවන් පිළිබඳ තොරතුරු ලබාගෙන ඔවුන්ගේ නිවෙස්වලට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථා පවා වාර්තා වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

මේ නිසා, තම දරුවන්ට ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක හෝ ටැබ් පරිගණක භාවිත කිරීමට ලබා දීමේදී, ඔවුන් ඒවා භාවිත කරන ආකාරය පිළිබඳව නිරන්තර දෙමාපිය අධීක්ෂණයක් පැවතීම අතිශයින් වැදගත් බව ස්ථානාධිපතිවරිය අවධාරණය කරයි.



දරුවන්ට ඔවුන්ගේ කාමර තුළ තනිවම මෙම උපකරණ භාවිත කරමින් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඉඩ නොතබන ලෙසද ඇය දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. එවැනි හුදකලා අවස්ථාවලදී දරුවන් නොදැනුවත්වම මෙවැනි අපරාධකාරී කණ්ඩායම්වලට සම්බන්ධ වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඇය පෙන්වා දෙයි. එබැවින් තම දරුවන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳව දෙමාපියන් නිරතුරුව අවධානයෙන් සිටිය යුතු බව වරුණි බෝගහවත්ත මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.