i-will-commit-suicide-if-my-pension-is-cut-nandana-gunathilaka

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක මහතා, තමන් යැපෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිමි වූ විශ්‍රාම වැටුපෙන් බවත්, එය අහිමි කළහොත් ඊට එරෙහිව 'මරා‍ගෙන මැරී" දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවත් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. 



තමන් ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් මෙම විශ්‍රාම වැටුපෙන් යැපෙන බව පෙන්වා දෙන ඒ මහතා, රුපියල් 68,000ක් වන සිය විශ්‍රාම වැටුපෙන් ගෙවල් කුලී, උපයෝගිතා බිල්පත් සහ ඖෂධ වියදම් ගිය පසු දෛනික වියදම සඳහා ඉතිරිවන්නේ රුපියල් 700-800ත් අතර මුදලක් බව සිය සටහනේ සඳහන් කර තිබේ.

තමන් පූර්ණකාලීන දේශපාලනයේ නිරත වූවෙකු බවත්, සිය පවුලේ දේපළ පවා පක්ෂය වෙනුවෙන් සහ නඩුහබ සඳහා වැය කළ බවත් පවසන ගුණතිලක මහතා,

වයස 63ක් වන තමන්ට මේ වයසේදී නව රැකියාවක් සොයාගැනීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නොහැකි බව කියා සිටී. මෙම විශ්‍රාම වැටුප අහිමි වුවහොත් හිඟමනට වැටීමට සිදුවන බවත්, එසේ ජීවත් වීමට තමන් සූදානම් නැති බවත් ඔහු පවසයි.

එම සමාජ මාධ්‍ය සටහනෙහි තවදුරටත් දැක්වෙන්නේ, මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවුවහොත් "තනිවම නොවන" බවත්, තමන් යුද සමයේ සටන් බිමේ සිටි "ගරිල්ලා භටයෙකු" බවත් සිහිපත් කරමින්, සියල්ලන්ම ඒ සඳහා සූදානම් විය යුතු බවට අනතුරු ඇඟවීමකි.

වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දැඩි ලෙස විවේචනය කරන ඒ මහතා, දුෂ්කර කාලවලදී පක්ෂය ගොඩනැගීමට දායක නොවූ එම පිරිස, අන් පක්ෂ කෙරෙහි ජනතාව කලකිරුණු නිසා බලයට පත් වූ බවට චෝදනා කරයි. හිටපු ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ ගැටලු පිළිබඳව අවස්ථානුකූලව සලකා බලා "අස්වැසුම" වැනි සුබසාධන මුදලක් ලබා දීමට සලකා බලන බවට ජවිපෙ නායකයෙකු ප්‍රකාශ කර තිබීම, තමන් වැනි පිරිස් හිඟන්නන් බවට පත් කිරීමක් බවද නන්දන ගුණතිලක මහතා සිය සටහන මගින් වැඩිදුරටත් චෝදනා කර සිටී.



gossiplanka image 1