chicken-meat-worth-11-million-transported-without-cooling-is-destroyed-in-karadiyana-private-company-fined

 නිසි ශීතකරණ තත්ත්වයෙන් තොරව ප්‍රවාහනය කරමින් තිබූ, රුපියල් ලක්ෂ 11ක් පමණ වටිනා කුකුළු මස් කිලෝග්‍රෑම් 917ක තොගයක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත විනාශ කර තිබේ. 



මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තලවතුගොඩ ප්‍රදේශයේ සිදුකළ හදිසි ආහාර වැටලීමකදී, අදාළ කුකුළු මස් තොගය රැගත් ලොරි රථය පරීක්ෂා කිරීමේදී මෙම නීති විරෝධී ප්‍රවාහනය හෙළිදරව් වී ඇත. පාරිභෝජනයට නුසුදුසු ලෙස, නිසි උෂ්ණත්ව පරාමිතියකින් තොරව මෙම කුකුළු මස් ප්‍රවාහනය කර ඇති බව එහිදී තහවුරු වී තිබේ.



පසුව, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එම කුකුළු මස් තොගය විනාශ කරන ලෙසත්, ඊට හිමිකම් කියන කොළඹ 03, ගාලු පාරේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමට රුපියල් 10,000ක දඩයක් ගෙවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අධිකරණ නියෝගයට අනුව, එම කුකුළු මස් තොගය කරදියාන කසළ අංගනය වෙත රැගෙන ගොස් විනාශ කිරීමට පියවර ගැනිණි. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෝසල මතුකුමාරණ මහතාගේ උපදෙස් මත, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එන්.පී. කල්දේරා මහතාගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එස්.ඩබ්ලිව්.කේ. ගයාන් ප්‍රසංග, ඒ.එම්.ආර්. ප්‍රියන්ත සහ එච්.එම්.ජී. මාධව යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.



gossiplanka image 1