
කාන්තා ඇඳුමින් සහ වෙස්මුහුණු පැළඳ වෙස්වලාගෙන අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හල් දෙකක් කොල්ලකෑ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට දින කිහිපයකට පෙර, සොරකම් කරන ලද යතුරුපැදියකින් පැමිණි සැකකරුවන්, සේවකයන් බියගන්වා, තියුණු ආයුධවලින් දේපළවලට හානි කර රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකා පළාගොස් තිබිණි. 'බුම්මා', 'බච්චි' සහ 'පොඩියා' යන අන්වර්ථ නාමවලින් හඳුන්වන වයස අවුරුදු 30, 36, සහ 38 යන වයස්වල පසුවන මෙම සැකකරුවන්,
'අයිස්' මත්ද්‍රව්‍ය සඳහා මුදල් සෙවීමේ අරමුණින් මෙම කොල්ලය සිදුකර ඇති බව පොලීසිය පවසයි.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නොවිසඳුණු අපරාධ ඒකකය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, පළමුව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ලද තොරතුරු මත ප්‍රදේශයෙන් පලාගොස් සිටි අනෙක් දෙදෙනාද කොටුකර ගැනීමට හැකිවී තිබේ.
කොල්ලය සඳහා පැමිණීමට පෙර සැකකරුවන් විසින් නිවසක නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කර ඇති බවත්, කොල්ලයෙන් අනතුරුව එම යතුරුපැදිය තිසා වැවට තල්ලු කර, ඔවුන් භාවිත කළ ආයුධ සහ කාන්තා ඇඳුම් කැලෑවක සඟවා ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval