sigiriyas-night-tourism-business-is-thriving

 සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන් අතර, ප්‍රදේශයේ ගම්මානවල රැය ගත කරමින් දේශීය අත්දැකීම් විඳ ගැනීමේ නව සංචාරක ප්‍රවණතාවක් ඇති වී තිබේ. ප්‍රදේශවාසීන් විසින්ම හඳුන්වා දී ඇති මෙම ක්‍රමවේදය හේතුවෙන් සීගිරිය රාත්‍රී කාලයේදී සුවිශේෂී සංචාරක කලාපයක් බවට පත්වෙමින් පවතී.



මීට පෙර බොහෝ සංචාරකයන් අලුයම සීගිරියට පැමිණ දහවල් වන විට පිටව ගියද, මෙම නව ප්‍රවණතාවත් සමඟ, විශේෂයෙන්ම තරුණ විදේශීය කණ්ඩායම් ප්‍රදේශයේ රැඳී සිටීමට වැඩි කැමැත්තක් දක්වයි. මෙම ක්‍රමවේදය හරහා කුඩා නවාතැන් සපයන්නන්, ත්‍රිරෝද රථ රියදුරන් සහ දේශීය කෘෂි නිෂ්පාදකයන් ඇතුළු ප්‍රදේශයේ ජනතාවට සෘජු ආර්ථික ප්‍රතිලාභ රැසක් අත් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.



මෙම සංචාරකයන් සඳහා ප්‍රදේශවාසීන් විසින් සරල නවාතැන් පහසුකම් සහ තම නිවෙස්වලම පිසින ලද දේශීය ආහාරපාන සැපයීම සිදු කරයි. විශේෂයෙන් බත්, මුං ඇට, කව්පි වැනි දේශීය එළවළු සහ පලතුරු යොදා සැකසූ ආහාර වේල් සංචාරකයන්ගේ ඉහළ ප්‍රසාදයට ලක්ව තිබේ. මෙම සරල සහ ග්‍රාමීය අත්දැකීම වෙනත් රටවලදී ලැබෙන අත්දැකීම්වලට වඩා බෙහෙවින් වෙනස් බවත්, තමන් නැවත නැවතත් ශ්‍රී ලංකාවට සහ සීගිරියට පැමිණීමට අපේක්ෂා කරන බවත් සංචාරකයෝ මහත් සතුටින් ප්‍රකාශ කළහ.

මෙම සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කළ හැකි බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන්, නවාතැන්, ආහාර සහ විනෝදාස්වාද පහසුකම් තවදුරටත් සංවර්ධනය කළහොත් සීගිරියට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ නැංවිය හැකි බවට විශ්වාසය පළ කරති.