when-a-complaint-was-heard-the-police-book-was-torn-up-and-eaten

 තමන් විසින්ම කරන ලද පැමිණිල්ලක් විභාග වෙමින් තිබියදී පොලිස් ස්ථානයක තොරතුරු සටහන් පොතකින් පිටු දෙකක් ඉරාගෙන මුඛයේ දමා සැපූ පුද්ගලයෙකු අගෝස්තු 25 වන දින අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය පවසයි. මහව, පොල්කටුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ගොවියෙකු

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, රාජකාරියට බාධා කිරීම සහ රජයේ දේපළවලට හානි කිරීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කර තිබේ.

මෙම සිද්ධියට මුල් වී ඇත්තේ සැකකරු විසින් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව තමන්ට අපහාස කළ බවට ගොනු කළ පැමිණිල්ලකි. එම පැමිණිල්ල විභාග කිරීමට නියමිතව තිබූ අවස්ථාවේ සැකකාර පැමිණිලිකරු පොලිසියට වාර්තා කර නොතිබූ අතර,

චෝදනා ලැබූ දෙදෙනාට අවවාද කර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මුදා හැරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

පසුව පොලිසියට පැමිණි සැකකරු, විභාගය අවශ්‍ය නොමැති බව පවසා පිටව ගොස්, නැවත වරක් පැමිණ පැමිණිල්ල විභාග කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ මෙම සිද්ධිය උත්සන්න වී ඇත. ඔහුගේ ඉල්ලීම පරිදි චෝදනා ලැබූවන් නැවත පොලිසියට කැඳවීමට කටයුතු කර තිබූ අවස්ථාවේදී, ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර තිබූ පොත බැලීමට ඉල්ලා ඇති සැකකරු, එහි පිටු දෙකක් ඉරාගෙන සපා කා ඇති බව පොලිසිය සඳහන් කරයි.

මහව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලතුංග මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බී.එම්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.