comfort-for-mps-who-cannot-make-ends-meet

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ස්ථිර බවත් ආදායම් නොමැති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීති සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



ඔහු මෙසේ පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා (05) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. ප්‍රශ්නය: විශ්‍රාම වැටුප් ඉවත් කිරීමට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළා. 




පිළිතුර: මේ  තීරණයට එරෙහිවී ශ්‍රේෂ්ඨාධිකරණයට යන අයට එහි යන්නත් ජිනීවා යන අයට එහේ යන්නත් පුළුවන්. රට වෙනුවෙන් නොව තමන්ගේ පෙන්ෂන් එක වෙනුවෙන් හරි ජීවිත පරිත්‍යාග කරනවා නම් ඒවා ඉතිහාස ගත වෙනවා. පෙන්ෂන් එකෙන් ජීවත් වෙන මන්ත්‍රීවරුන් කොහොමද ජිනීවා යන්නේ. කොච්චර වියදම් කළාද කියලා අපිට ඔක්කොම බලාගන්න පුළුවන්.


මේ ගැන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට කියන්න කිසිම අයිතියක් නැහැ. අපි මුල ඉඳලම පෙන්ෂන් එක අහෝසි කරනවා කියලා තමයි දේශපාලනය කළේ. අපි විපක්ෂයේ ඉන්නකොට මේක දිගටම කිව්වා. අපිට අහෝසි කරන්න අවස්ථාවක් බලයක් ලැබුණ පළමු වැනි අවස්ථාවේ ඒ යෝජනාව ඉදිරිපත් කරලා දැන් ක්‍රමානුකූලව නීති සකස් කරමින් යනවා. 


ප්‍රශ්නය: විශ්‍රාම වැටුපෙන් ජීවත් වන සමහර මන්ත්‍රීවරුන් ඉන්නවා.

ඒ අයට මේක අසාධාරණයක්. එවැනි අත්‍යවශ්‍ය අය වෙනුවෙන් විකල්ප යෝජනාවක් තියෙනවද?


පිළිතුර : මේ දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සියලුම ජනතාවගේ ජීවත්වීමට අපහසු යන අය පිළිබඳ සොයා බැලීමක් කරගෙන යනවා. ජීවත් චෙන්න විදියක් නැත්නම් මන්ත්‍රීවරුන්ටත් ඒකට ඉදිරිපත් වෙන්න පුළුවන්. අස්වැසුම ඇතුළු සහනාධාර දීමනා රජය ක්‍රියාත්මක කරනවා. මේ අයත් සාමාන්‍ය පුරවැසියන් නිසා ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කරන එක තමයි හොඳ රජයට ඊට පස්සේ ඒ ගැන සලකා බැලිය හැකියි.


ප්‍රශ්නය: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ සේවය චේනුවෙන් විශ්‍රාම වැටුපක් ගැනීමට හැකියාවක් තිබෙන්න ඕන.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒ වගේ ලක්ෂණ තිබෙනවා. මේක පලිගැනීමක්ද?


පිළිතුර : කිසිම පලිගැනීමක් නැහැ. ඔබ අවුරුදු පහක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැන කතා කරනවා. මේ කාලයේ මාධ්‍යවේදීන්ට විශ්‍රාම වැටුපක් සාදාගැනීමට කතා කළා නම් වඩාත් ඵලදායකයි.