minister-vijitha-herath-says-there-is-an-essential-relationship-between-media-and-politics

 මාධ්‍ය සහ දේශපාලනය යනු එකිනෙකින් වෙන් කළ නොහැකි, අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය වන ක්ෂේත්‍ර දෙකක් බවත්, මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යයක් පැවතිය නොහැකි බවත් විදේශ කටයුතු හා සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.



ඔහු මේ බව සඳහන් කළේ පසුගිය සිකුරාදා (08) විද්‍යාලංකාර පිරිවෙන් ශාලාවේදී පැවති "ගම්පහ මාධ්‍ය සංවිධානය" පිහිටුවීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. මෙම උත්සවය සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති,

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නායක හිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි.

මාධ්‍ය සමග කටයුතු කිරීම "දැලි පිහියෙන් කිරි කෑමක්" වැනි සියුම් කාර්යයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මහජනතාව වෙත අසත්‍ය ප්‍රචාර වෙනුවට නිවැරදි තොරතුරු ගුණාත්මකව, ගෞරවාන්විතව සහ සදාචාරසම්පන්නව ලබා දීමේ වගකීම මාධ්‍යවේදීන්ට මෙන්ම දේශපාලනඥයින්ටද ඇති බව අවධාරණය කළේය.

තවද, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය වෙනුවෙන් අවශ්‍ය කරුණු කම්කරු නීති පද්ධතියට ඇතුළත් කිරීමටත්,

ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවී දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් වත්මන් රජය කැපවී සිටින බවද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.