පාදුක්ක, මාවත්ගම ප්‍රදේශයේදී බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්, පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණි ප්‍රාදේශීය දේශපාලනඥයෙකු පොලිස් නිලධාරීන්ට පහර දී කලහකාරී ලෙස හැසිරී තිබේ. සැකකරු සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම්වරයෙකු මෙන්ම සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.
මෙම දේශපාලනඥයාගේ සගයෙකු බීමතින් මෝටර් රථයක් පදවා ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුකළ අනතුරකින් පසු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් අනතුරුව පොලිස් ස්ථානයට කඩාවැදුණු සැකකාර දේශපාලනඥයා, නිලධාරීන්ට බැණ තර්ජනය කර ඇති අතර එහිදී පාදුක්ක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දී ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු දේශපාලනඥයා සිර මැදිරියට දැමීමෙන් පසු තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව පැවසීම හේතුවෙන් ඔහුවද හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල තුළදී ද අශෝභන ලෙස හැසිරී ඇති සැකකරු, පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතර අද (16) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval