un-human-rights-council-concerned-about-chemmani-mass-graves

 ලබන මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට නියමිත බව බ්‍රිතාන්‍යය සහ කැනඩාව ශ්‍රී ලංකා රජයට වාචිකව දැනුම් දී තිබේ. පෙර යෝජනාවලට සාපේක්ෂව මෙම නව යෝජනාව එතරම් දැඩි එකක් නොවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.



ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවලට සම-අනුග්‍රහය දැක්වූ ඇමරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමත් සමඟ,

මෙවර යෝජනාව ඉදිරිපත් කරන කණ්ඩායමේ සංයුතියේ වෙනසක් සිදුවිය හැකි බවට විශ්වාස කෙරේ. එමෙන්ම, බ්‍රිතාන්‍යය සහ කැනඩාව සමඟ පෙර යෝජනාවලට සහාය දුන් මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව වැනි රටවල් මෙවර යෝජනාවට සහාය නොදැක්වීමට ඉඩ ඇති බවද පැවසේ.

පසුගිය ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, සැසිවාරයේ ආරම්භක දිනය වන සැප්තැම්බර් 8 වැනිදා "ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය" පිළිබඳ සිය වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය. රජය විසින් චෙම්මනි සමූහ මිනීවළ නැරඹීමට ඔහුට පහසුකම් සලසා දීම හේතුවෙන්, එම වාර්තාවේ ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ, ජාතික ජන බලවේගය පාලන බලය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවල තීව්‍රතාව අඩු වීමේ ප්‍රවණතාවක් පවතින බවයි. දේශීය වගවීමේ ක්‍රියාවලිය දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත්, මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු වූ පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට කැපවී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමගින් දේශීය යාන්ත්‍රණය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගිය හැකි බවද ඔහු පැවසීය.

චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවට වන ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ, එය අධිකරණ ක්‍රියාමාර්ගයකට යටත් කරුණක් බැවින් රජය ඊට මැදිහත් නොවන බවයි. මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වීමට නියමිතය.