cid-investigates-gammanpilas-racist-statement

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.



මෙම විමර්ශනයට පදනම් වී ඇත්තේ අගෝස්තු 05 වන දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගම්මන්පිල මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි. නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය විසින් අගෝස්තු 12 වන දින මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබුණි.



සිය පැමිණිල්ල මගින් ඇය චෝදනා කරන්නේ, පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු නිලධාරීන්ට අදාළ විමර්ශන ඉලක්ක කර ගනිමින් උදය ගම්මන්පිල මහතා ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බවයි.

තවද, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනුණේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව වුවද, එම අධිකරණ නියෝගය ගැන ගම්මන්පිල මහතා මහජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන කටයුතු සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී තිබේ.