father-is-ready-to-resign-namal

 හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත වූ වහාම, සිය පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට භාවිත කරන නිල නිවසින් ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී. 



මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මහින්ද රාජපක්ෂ මහතා එම නිල නිවසේ රැඳී සිටින්නේ බලහත්කාරයෙන් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙතෙක් ලබා දී තිබූ නීත්‍යානුකූල අයිතියකට අනුව බවයි.

නව නීතිය සම්මත වූ පසු ඊට ගරු කරමින් කටයුතු කරන බව ඔහු පැවසීය.

එමෙන්ම, විධායක ජනාධිපතිවරයෙකු ලෙස ධුරය දරන කාලසීමාවේදී රට වෙනුවෙන් බරපතළ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, එම තීරණ හේතුවෙන් ධුරයෙන් විශ්‍රාම ගිය පසු ඔවුන්ගේ ජීවිතවලට විවිධ අවදානම් එල්ල විය හැකි බවද සඳහන් කළේය.

මේ නිසා, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් පැවතීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. මෙය වත්මන් ජනාධිපතිවරයා ඇතුළු සියලුම හිටපු ජනාධිපතිවරුන්ට පොදු කාරණයක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.



උදාහරණයක් ලෙස, වත්මන් ජනාධිපතිවරයා පාතාලය මර්දනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන් කළ මන්ත්‍රීවරයා, ඔහු ධුරයෙන් ඉවත් වූ පසු පාතාලයෙන් එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු කළේය. මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර තිබුණේ, ඔවුන්ට ධුර කාලය තුළ නිර්භයව තීන්දු ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම සඳහා බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.