5-underworld-figures-brought-to-the-island-and-remanded-in-custody-for-criminal-investigations

 ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගත්, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රබල පෙළේ අපරාධකරුවන් පස් දෙනෙකු රැගත් ගුවන් යානය අද (30) සන්ධ්‍යා කාලයේ දිවයිනට ළඟා විය. ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියානු සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව දියත් කළ විශේෂ මෙහෙයුමකින් පසුගිය 27 වන දා මෙම සැකකරුවන් කොටුකර ගැනීමට හැකිවිය.


රාත්‍රී 9.30 ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගිය බව වාර්තා විය.
මෙම පාතාල සාමාජිකයින් අතරින් කෙහෙල්බද්දර පද්මේ , කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග යන තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයටත්, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන දෙන්නා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයටත් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බව වාර්තා විය.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් වූවන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දරුවා ඉන්දුනීසියානු පොලිසිය විසින් නිදහස් කර තිබුණේ,

ඇයට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර නොතිබූ පසුබිමකය. කෙසේ වෙතත්, ඊයේ දිනයේ මෙරටට පැමිණි ඇය, සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග සබඳතා පැවැත්වීම සහ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඇයගේ තුන් හැවිරිදි දරුවා ඥාතීන් වෙත භාරදීමට බලධාරීන් කටයුතු කර තිබේ.



මෙම අත්අඩංගුවට ගත් කණ්ඩායම අතර මෙරට සිදුවූ බරපතල ගණයේ අපරාධ රැසකට සම්බන්ධ අය වෙති. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ජාත්‍යන්තර මෙහෙයුමට දායකත්වය ලබා දී තිබේ.

සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් විශේෂ නිලධාරී කණ්ඩායමක් පසුව ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේ, මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වී සිටියේ නිලධාරීන් දෙදෙනෙකු පමණක් වූ බැවිනි.

ගනේමුල්ල සංජීව සහ කජ්ජා ඝාතනය වැනි මෙරට මහත් ආන්දෝලනයට ලක්වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම අපරාධකරුවන්ට චෝදනා එල්ල වී ඇත. සතියක පමණ කාලයක් පුරා සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මොවුන් කොටුකර ගැනීමට හැකිවිය. කෙහෙල්බද්දර පද්මේට එරෙහිව මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා හතක්ද, කමාන්ඩෝ සලින්ත හෙවත් පිට්ටුවාට එරෙහිව චෝදනා එකොළහක්ද පවතින බව පොලිස් වාර්තා සඳහන් කරයි.

මේ අතර, අත්අඩංගුවට ගත් මෙම අපරාධකරුවන්ගේ මෙරට සිටින දෙවන පෙළ සාමාජිකයින් මේ වන විට හඳුනාගෙන ඇති බව අපරාධ වාර්තා කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර මහතා ප්‍රකාශ කළේය.