athuraliye-rathana-thero-goes-missing-while-being-sought-for-arrest
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් 2020 වසරේදී එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 07 වැනිදා රාත්‍රියේ රාජගිරියේ පිහිටි උන්වහන්සේ වැඩවෙසෙන සඳහම් සෙවණට ගොස් තිබේ.

නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විට රතන හිමියන් එහි රැඳී නොසිටි අතර, උන්වහන්සේ සිය ජංගම දුරකථනයද ක්‍රියා විරහිත කර සැඟවී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙම පරීක්ෂණවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ සේවය තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

පූජ්‍ය විමලතිස්ස හිමියන් විසින් සිදුකර ඇති පැමිණිල්ලේ, මෙම පැහැරගැනීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සම්බන්ධයක් පැවති බවට පැහැදිලිවම සඳහන් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

වසර පහකට ආසන්න කාලයකට පෙර සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පළමු සැකකරු පසුගිය ජූලි මස 20 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර,

ඔහු කටුවන, කිරිමානගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම සැකකරු කණ්ඩලම නන්දසීහ හිමි නමින් පැවිදිව සිට පසුව උපැවිදි වූ අයෙකු බවයි.

තමාව පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිපි ලේඛන කිහිපයකට අත්සන් ගත් බවත්, ඒ හරහා අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අතුරලියේ රතන හිමියන්ට ලබාදීමට කටයුතු කළ බවත් විමලතිස්ස හිමියන්ගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන ජාල විශ්ලේෂණයේදී, පැහැරගැනීම සිදු වූ අවස්ථාවේ සිට රතන හිමියන් සහ සැකකරුවන් අතර අසාමාන්‍ය ලෙස දුරකථන සංවාද සිදුවී ඇති බවට තොරතුරු හෙළිවී ඇත.



මේ අතර, අපේ ජන බල පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ සමන් පෙරේරා මහතා ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු 2024 වසරේ ජනවාරි මස 22 වන දින බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී පාතාල කල්ලි ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණි.