angry-that-the-police-harassed-rohithas-daughter-who-surrendered-from-hiding

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය රොෂෙල් මෙලනි අබේගුණවර්ධන  රුපියල් ලක්‍ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි. හෙට්ටිවත්ත මහත්මිය ඊයේ (31) නියෝග කළාය. සැකකාරිය පසුගිය 30 වැනිදා උදෑසන නීතිඥයකු මාර්ගයෙන් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට බාර වූවාය.


සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද මහේස්ත්‍රාත්වරිය සැකකාරියට දැනුම් දුන්නාය. පැමිණිල්ල ඉදිරිපත් කරමින් වලාන ඒකකයේ නිලධාරීන් මෙහිදී පැවැසුවේ මෙම වාහනයට අදාළව කූඨ ලේඛන සකසා ඇතැයි විශ්වාස කරන හෙයින් සැකකාරිය ඇප මත මුදාහැරීමට විරුද්ධ බවයි.
අනතුරුව විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ මාතරආරච්චි මහතා කරුණු දක්වමින් මෙම වාහනය පිළිබඳව වලාන දූෂණ මර්දන ඒකකය පසුගිය අප්‍රේල් මාසයේ සිට විමර්ශන ආරම්භ කර ඇති බව කීවේය.


පසුගිය 30 වැනිදා උදේ 8.18 ට පමණ තමාගේ කනිෂ්ඨ නීතිඥවරියක සමග සැකකාරිය වලාන දූෂණ මර්දන ඒකකයට බාර දුන් බවත් මෙම නඩුවේ දෙවන සහ තුන්වන සැකකරුවන් විත්තිකරුවන් බවට සඳහන් කිරීමක් කර නැති බවත් මතුගම පොලිසියේ ඉල්ලීමට අනුව අධිකරණය ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවත් පැවසීය.
විත්තිකාරිය පොලිසියට බාරදීමෙන් අනතුරුව එදින පස්වරු 2.30 ට පමණ ඇය සමග සිටි නීතිඥවරියට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පවසා ඇත්තේ ඇයගේ කට උත්තර පරස්පර බවත් එය නිවැරැදි කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය. එදින තමා ඇතුළු නීතිඥවරුන් ඇය අධිකරණයට ඉදිරිපත් කරනතුරු අධිකරණයේ රැඳී සිටි බවත්, මහේස්ත්‍රාත්තුමිය සහ අධිකරණ කාර්ය මණ්ඩලය ද රැඳී සිටියත් රාත්‍රී 7.30 වනතුරුත් ඇය අධිකරණයට ඉදිරිපත් නොකිරීම නිසා තමා පෞද්ගලිකව මතුගම පොලිසියට ගොස් විමසුවත් ඇය අධිකරණයට ගෙන එනවාදැයි පැවසීමට කිසිදු පොලිස් නිලධාරියකු නොදැන සිටි අතර පොලිසියේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් විමසුවත් ඔවුන් කියා සිටියේ ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
"එවිට මා එම පොලිස් නිලධාරීන්ට පැවසුවා අධිකරණය සැකකාරිය රැගෙන එනතුරු බලා සිටින බව. එවිට ඔවුන් පැවසුවේ එය ඔවුන්ට අදාළ නොවන බවයි.

මාගේ වසර 25 ක වෘත්තීය ජීවිතයේ මෙවැනි දෙයක් දැක නැහැ ස්වාමීනී. ඔවුන් පැය 10 කට ආසන්න වේලාවක් කුමක් සටහන් කරගත්තේ දැයි දන්නේ නැති බවත් සැකකාරිය අද දින අධිකරණයට ඉදිරිපත් කරන්නේ පැය 24 කාලයක් ඉක්ම ගොස් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්ය," යැයි නීතිඥ මාතරආරච්චි මහතා පැවසීය.
"මෙම නඩුවට අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමට කවුරුන් හෝ උත්සාහ කරන යම් ලේඛනයක් කූඨ ලේඛනයක් බවට සඳහන් කළ හැක්කේ ඒ පිළිබඳව විශේෂඥ සාක්ෂිකරුවකුට පමණයි. එවැනි ලේඛනයක් මෝටර් වාහන දෙපාර්තමේන්තුව සතුව තිබේ නම් පොලිසිය මාස දෙකක් එය විමසා නොමැත්තේ ඇයි? එවැන්නක් මෝටර් වාහන දෙපාර්තමේන්තුව සතුව තිබේ නම් සැකකාරියට නඩු පවරන්නේ කොහොමද?" යන ප්‍රශ්නය ද ඔහු මතු කළේය.
"පුද්ගලයෙක් වාහනයක් මිලදී ගැනීමේදී රස පරීක්ෂක වරයාගෙන් පරීක්ෂා කරගන්නේ නැහැ. ඔවුන් රේගුවෙන් සහ මෝටර් වාහන දෙපාර්තමේන්තුවෙන් පමණයි පරීක්ෂා කරගන්නේ. පොලිසිය පිළිබඳව අපගේ තිබුණු විශ්වාසය නිසා ඇය පොලිසියට ඉදිරිපත් කළා. පොලිසිය පැය 24 ක් ඇය පොලිසිය බාරයේ රඳවා ගත්තා. අධිකරණය දේශපාලන හෝ මාධ්‍ය බලපෑමකට යටත් නොවන බව අප හොඳින්ම දන්නා බැවින් ඇප පනතේ කිසිම වරදක් ඇය සිදුකර නොමැති නිසා ඇයට ඇප දෙන ලෙස ඉල්ලා සිටිනවා," යැයි ඔහු පැවසීය.
අනතුරුව මහේස්ත්‍රාත්වරිය ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට නියෝග කළාය.


නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්න ගොඩවිතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන යන අය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී තමන් එම ජීප් රථය මිල දී ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන යන අයගෙන් බවට කරන ලද ප්‍රකාශයක් අනුව අධිකරණය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
එම සැකකාරිය පදිංචි නිවස ඇතුළු ස්ථාන කීපයක් පොලිසිය පරීක්ෂා කළත් ඇය එම ස්ථානවල නොසිටි නිසා පොලිසියේ ඉල්ලීම අනුව එම සැකකාරියට සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන ධනුෂ්ක ප්‍රියදර්ශන යන අයට විදෙස් ගමන් තහනමක් ද අධිකරණය පැනවීය.
ඒ අතර පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගේ සැමියා ධනුෂ්ක ප්‍රියදර්ශන යන අය නීතීඥයකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඔහු අද (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. එදිනම මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රසික බුද්ධික විතාන නිදහස් මෝසමක් ගැනීමට මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු ඇප මත නිදහස් කෙරිණි.
වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් පැමිණිල්ල ඉදිරිපත් කළ අතර සැකකාර රොෂෙල් මෙලනි අබේගුණවර්ධන වෙනුවෙන් නීතිඥ සනත් එදිරිසිංහ සහ නීතිඥ ප්‍රසාද් ඉඹුලගොඩ මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ මාතරආරච්චි මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම සිද්ධිය පිළිබඳ මීළඟ නඩු විභාගය අද (1) දිනයේ කැඳවීමට නියමිතයි.