අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත සිරමැදිරිවල පුද්ගලයන් නීති විරෝධී ලෙස රඳවා තැබීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරුන් කිහිප දෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ශාන්ත බණ්ඩාර නැමැති අය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත සිරමැදිරිවල රඳවා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. උළුගේතැන්න විසින් ලබා දී ඇති ප්‍රකාශය අනුව,
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ "ටැංජන්" හා "ගන්සයිඩ්" යන භූගත සිරමැදිරිවල නීති විරෝධි ආකාරයෙන් පුද්ගලයන් රඳවා තැබීම පිළිබඳව ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ කාලයේදී එවකට සිටි නාවික හමුදාපතිවරුන් දැනුවත්ව සිටි බව හෙළි වී තිබේ.
නිශාන්ත උළුගේතැන්න විසින් ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට, ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරය දරමින් සිටි කාලයේදී අද්මිරාල් සෝමතිලක දිසානායක හා අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන් නාවික හමුදාපතිවරුන් ලෙස කටයුතු කර ඇත. එමෙන්ම, එම කාලයේදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නැගෙනහිර ආඥාපති ලෙස රියර් අද්මිරාල් වරයෙකු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ ද සේවය කර ඇති බව ඔහු සඳහන් කර තිබේ.
උළුගේතැන්නගේ ප්‍රකාශයට අනුව, ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව,
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටා ඇති භූගත සිරමැදිරි පරීක්ෂා කිරීම සඳහා යෑමට එවකට නාවික හමුදාපති වශයෙන් කටයුතු කළ අද්මිරාල් සෝමතිලක දිසානායකගෙන් අවසර ලබාගත් බවද හෙළි කර ඇත.
තවද, උළුගේතැන්න නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන සමයේ නියෝජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ලෙස ඩී.පී. ප්‍රේමරත්න මහතා සේවය කළ අතර, විශේෂ යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරි ලෙස කපිතාන් ප්‍රසන්න හේවගේ කටයුතු කළ බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.
ශාන්ත බණ්ඩාර නැමැති පුද්ගලයා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නිශාන්ත උළුගේතැන්න විසින් ලබා දී ඇති තොරතුරු මත පදනම්ව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ සඳහන් කර ඇති හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු අනෙකුත් ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පිහිටි "ටැංජන්" හා "ගන්සයිඩ්" යන භූගත සිරමැදිරිවල පුද්ගලයන් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම හා ඔවුන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් විමර්ශන දිගින් දිගටම පැවැත්වෙමින් පවතින අතර, මෙම නඩුව සම්බන්ධයෙන් තවත් විශාල හෙළිදරව් වීම් ඉදිරියේදී සිදුවනු ඇතැයි බලාපොරොත්තු වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් පවතින අතර, අදාළ කාල වකවානුව තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීම සඳහා ඉහත සඳහන් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම වැදගත් පියවරක් ලෙස සැලකේ.
නීති විරෝධී රඳවා තැබීම් හා අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලධාරීන් අපේක්ෂාකර ඇති බවද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval