a-person-dies-after-a-durian-seed-gets-stuck-in-his-throat

 ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි තිදරු පියෙකු, දූරියන් ඇටයක් උගුරේ සිරවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලීසිය පවසයි. 


ජී.ඩබ්ලිව්. ආරියදාස වීරසිංහ නැමැති මෙම පුද්ගලයා, රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේදී, හදිසි මරණ පරීක්ෂක ටී. එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් සිදුකරන ලදී. එහිදී සාක්ෂි ලබාදුන් මියගිය අයගේ බිරිඳ වන පී.ඩබ්ලිව්. පියශිලි මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ,

තම සැමියා උගුරේ අපහසුවෙන් සිටි අවස්ථාවේ විමසූ විට, රඹුටන් ඇටයක් සිරවූ බව පැවසූ බවයි.

කෙසේ වෙතත්, රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර කුමාර දිසානායක මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මරණයට සැබෑ හේතුව වී ඇත්තේ දූරියන් ඇටයක් උගුරේ සිරවීම බවට නිගමනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසියේ සැරයන් (10905) පියසිරි මහතා විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලදී.