
ඉන්දියාවේ මුම්බායි සිට කොල්කටා බලා පියාසර කරමින් තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකදී, හදිසි භීතිකා තත්ත්වයකින් (panic attack) පෙළුණු මගියෙකුට තවත් මගියෙකු විසින් කම්මුල් පහරක් එල්ල කරන අයුරු කැමරාවක සටහන් වී තිබේ. මෙම සිදුවීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග,
ඉන්ඩිගෝ ගුවන් සමාගම එම සිදුවීම හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇත.වීඩියෝවට අනුව, භීතිකා තත්ත්වයට පත්ව සිටි මගියාට ගුවන් සේවිකාවන් විසින් සහය දක්වමින් සිටියදී, අනෙක් මගියා විසින් කිසිදු හේතුවකින් තොරව හදිසියේම මෙම පහරදීම සිදුකර තිබේ. එම අවස්ථාවේදී, තවත් මගියෙකු පහරදුන් පුද්ගලයාගෙන් ඒ මන්දැයි දිගින් දිගටම ප්‍රශ්න කරන හඬක්ද ඇසෙන අතර, ඊට පිළිතුරු ලෙස, “මට ප්‍රශ්නයක් තිබුණා” යැයි ඔහු පවසා ඇත.
ඉන්ඩිගෝ ගුවන් සමාගම සිය නිවේදනය මගින් පවසා සිටියේ, එවැනි අශෝභන හැසිරීම් කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට සහ ගෞරවයට හානි පමුණුවන ඕනෑම ක්‍රියාවක් දැඩිව හෙළා දකින බවත්ය.
තම කාර්ය මණ්ඩලය ස්ථාපිත සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිවලට අනුව ක්‍රියා කළ බවද ගුවන් සමාගම සඳහන් කරයි. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා කලහකාරී මගියෙකු ලෙස හඳුනාගෙන, ගුවන් යානය ගොඩබෑමෙන් පසු ආරක්ෂක අංශ වෙත භාරදුන් බවත්, පවතින ක්‍රමවේදයට අනුකූලව අදාළ සියලුම නියාමන ආයතන මේ වන විටත් දැනුවත් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval