shah-rukh-khan-accepts-his-first-national-award-in-a-33-year-film-career-with-injuries

වසර තිස් තුනක සිය සිනමා දිවිය තුළ පළමු වරට ජාතික සම්මානයකින් පිදුම් ලැබීමට බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ. 2023 වසරේදී තිරගත වූ, අට්ලී විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ජවාන්' චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඔහුට මෙසේ හොඳම නළුවාට හිමි ජාතික සම්මානය හිමි විය.

විධු විනෝද් චොප්රාගේ '12th Fail' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එම සම්මානයට පාත්‍ර වූ වික්‍රාන්ත් මැසී සමග ෂාරුක් ඛාන් මෙම සම්මානය සමව බෙදා ගැනීම විශේෂත්වයකි. මෙම ගෞරවණීය සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව, ෂාරුක් ඛාන් වීඩියෝ පටයක් නිකුත් කර ඇති අතර, එහිදී ඔහුගේ අතක ප්ලාස්ටරයක් යොදා ඇති අයුරු දැකගත හැකි විය. චිත්‍රපට රූගත කිරීමකදී තුවාලවීමෙන් පසු ඇමරිකාවේ ප්‍රතිකාර ලැබීම් අතරතුර එම වීඩියෝව නිකුත් කර ඇත.එම වීඩියෝව හරහා ඔහු ඉන්දීය රජයට, ජූරි සභාවට, සිය කණ්ඩායමට, රසිකයින්ට සහ පවුලේ අයට සිය ස්තූතිය පුද කර තිබුණි.
 ෂාරුක් ඛාන් පවසා සිටියේ, "මා තුළ ඇත්තේ කෘතඥතාව සහ නිහතමානීත්වය බව කිව යුතුමයි.

ජාතික සම්මානයකින් පිදුම් ලැබීම මා ජීවිත කාලය පුරාම සුරක්ෂිතව තබාගන්නා මතකයක්. මෙම ගෞරවයට මා සුදුසු යැයි සිතූ ජූරි සභාවට, සභාපතිවරයාට සහ තොරතුරු හා විකාශන අමාත්‍යාංශයට බොහොම ස්තූතියි" යනුවෙනි.

තවද, ඔහු සිය සියලුම අධ්‍යක්ෂවරුන්ට සහ තිර රචකයින්ට, විශේෂයෙන් 2023 වසර සඳහා ස්තූතිය පුද කිරීමටද අමතක නොකළේය. "රාජු සර්ට, සිද්ට සහ විශේෂයෙන්ම අට්ලී සර්ටත් ඔහුගේ කණ්ඩායමටත් 'ජවාන්' චිත්‍රපටයේ අවස්ථාව ලබා දී මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන ස්තූතියි. අට්ලී සර්, ඔබ කියනවා වගේමයි, 'මාස්'. මා සමග වෙහෙස මහන්සි වී වැඩ කරන මගේ කණ්ඩායමටත්, මගේ කළමනාකාරීත්වයටත් මා ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මගේ නොඉවසිලිමත්කම ඉවසා දරාගෙන, ඔවුන්ගේ පූර්ණ අවධානය මට ලබා දෙනවා" යැයි ඔහු පැවසීය.

සිය පවුලට ස්තූතිය පුද කරමින් ෂාරුක් ඛාන් සඳහන් කළේ, "මෙම සම්මානය, ඔවුන්ගේ ශක්තිය සහ ආදරය නොමැතිව කිසිසේත්ම දිනාගත නොහැකියි. ඔබ කරන සෑම දෙයකටම බොහොම ස්තූතියි. මගේ බිරිඳ සහ දරුවන්, පසුගිය වසර කිහිපය තුළ නිවසේ දරුවෙකුට මෙන් මට ආදරය සහ සැලකිල්ල ලබා දුන්නා. සිනමාව කෙරෙහි ඇති මගේ ආශාව ඔවුන්ගෙන් මා ඈත් කරන බව ඔවුන් දන්නවා, ඒ නිසා ඒ සියල්ලටම ස්තූතියි."

මෙම ජාතික සම්මානය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොව, තමා කරන කාර්යය වැදගත් බවට ලැබුණු මතක් කිරීමක් බවද ෂාරුක් ඛාන් වැඩිදුරටත් පැවසීය.

"එය මට පවසනවා, දිගටම ඉදිරියට යන්න, වෙහෙස මහන්සි වෙන්න, නිර්මාණය කරන්න සහ සේවය කරන්න කියා. රංගනය යනු රැකියාවක් පමණක් නොව, තිරය මත සත්‍යය පෙන්වීමේ වගකීමක් බව මෙම ගෞරවය මට සිහිපත් කරනවා. සැමගේ ආදරයට මම බෙහෙවින් කෘතඥ වෙනවා" යැයි ඔහු සඳහන් කළේය.

අවසානයේදී, සිය රසිකයින් අමතමින් ඔහු පැවසුවේ, "ඔබගේ සියලු ප්‍රීති ඝෝෂා වලට, කඳුළු වලට සහ ඔබගේ සමාජ මාධ්‍ය අනුචලනය අතරතුර මා නැරඹීමට මොහොතක් නැවතීම ගැන ස්තූතියි. මෙම සම්මානය ඔබ වෙනුවෙන්. මගේ ආදරය ප්‍රකාශ කිරීමට දෑත් විදහා පෑමට අවශ්‍ය වුවත්, මේ මොහොතේ එය කළ නොහැකියි. නමුත් කමක් නැහැ, පොප්කෝන් සූදානම් කරගන්න, මම ඉක්මනින්ම සිනමාහල් වලටත් තිරයටත් නැවත එනවා. එතෙක් එක අතකින් මම එය කරන්නම්... රෙඩී..." යනුවෙන් පවසමින් සිය සුප්‍රසිද්ධ ඉරියව්ව එක් අතකින් රඟ දැක්වීය. 'ජවාන්' චිත්‍රපටය ෂාරුක් ඛාන්ගේම 'රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්' සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර, නයන්තාරා, විජේ සේතුපති, සාන්‍යා මල්හෝත්‍රා සහ සුනිල් ග්‍රෝවර් ඇතුළු නළු නිළියන් රැසක් එයට රංගනයෙන් දායක විය.



SRK Speaks