
බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් අට හැවිරිදි දරුවෙකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දරුවාගේ පියා, මව සහ ඔවුන්ගේ හිතවතෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සෙනසුරාදා (09) අලුයම හටගත් මෙම ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, අඹුසැමි ආරවුලක් හේතුවෙන් දරුවාගේ මව ඉකුත් 08 වන දා රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති බවයි. ඇයව සෙවීම සඳහා සැමියා ද නිවසින් පිටව ගොස් ඇති අතර,
එම අවස්ථාවේ අට හැවිරිදි මොහොමඞ් නශාස් රිසාස් නැමැති මෙම දරුවා නිවසේ තනිවම සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
නිවස ගිනි ගන්නා අයුරු දුටු ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී ඇති අතර, ඔවුන් සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සාහ දරා ඇත. එම මොහොත වන විට දරුවෙකු නිවස තුළ සිටින බව කිසිවෙකුත් දැන නොසිටි බව ප්‍රදේශවාසීහු පවසති. පසුව එම ස්ථානයට පැමිණි දරුවාගේ පියා ගිනිගන්නා නිවසට ඇතුළු වී දරුවා පිටතට ගෙනවිත් ඇති අතර,
ඒ වන විටත් දරුවා දරුණු පිළිස්සුම් තුවාල ලබා සිට ඇත. වහාම බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණය පවත්වා ඇති අතර, ගින්න ඇතිවීමට හේතුව සම්බන්ධයෙන් සැකයක් මතු වී ඇති බැවින් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


Comments
Post a Comment
Your comment will be visible after approval