විදේශීය ආයෝජකයින්ට නීත්‍යානුකූලව කංසා වගා කිරීමට රජය අවසර ලබාදී ඇති නමුත්, එම වගාවන්ගෙන් ලැබෙන අස්වැන්න සම්පූර්ණයෙන්ම අපනයනය කළ යුතු බවට දැඩි කොන්දේසියක් පනවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) පවසයි. ශ්‍රී ලංකාව තුළ එම කංසා භාවිතයට නොගන්නා අතර, වගාවේ භාවිතයෙන් පසු ඉතිරිවන බීජ, කොළ, මුල් වැනි ඕනෑම කොටසක් පරිසරයට මුදා නොහැර විනාශ කිරීමටද නීති සහ රෙගුලාසි පනවා ඇති බව එම මණ්ඩලය අවධාරණය කරයි.
මෙම වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මීරිගම ප්‍රදේශයේ අක්කර 64ක භූමියක කංසා වගාව ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයද ඊට සහාය දක්වයි. ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ ඖෂධ නිෂ්පාදනය සහ පර්යේෂණ කටයුතු සඳහා කංසා නිෂ්පාදන අපනයනය කිරීමයි.
කංසා වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් 37ක් අතුරින්, සුදුසුකම් සපුරාලූ විදේශීය ආයෝජකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ. ඔවුන් වෙත මූලික වශයෙන් මාස 6ක කාලයක් සඳහා තාවකාලික බලපත්‍රයක් නිකුත් කර ඇති අතර, එම කාලය තුළ ඔවුන්ගේ ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය සලකා බලා අනාගතයේදී වගා කාලය දීර්ඝ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා තෝරාගත් ආයෝජකයෙකු, අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5ක මූලික ආයෝජනයක් සිදු කළ යුතු අතර, ඊට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 2ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු බවද ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval