gArtificial intelligence for passenger safety; New technology introduced for buses

රාජ්‍ය සහ පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, කෘත්‍රිම බුද්ධිය (AI) සහිත නවීන තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි. කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



මෙම නව තාක්ෂණය මගින්, රියදුරු මහතුන්ට සේවය අතරතුර ඇතිවන විඩාව, නිදිමත හෝ ඇස් පියවීයාම වැනි අවදානම් තත්ත්වයන් ස්වයංක්‍රීයව හඳුනාගනු ලබයි. එමෙන්ම, රිය පැදවීමේදී නොකළ යුතු වෙනත් ක්‍රියාවක නිරත වන්නේ නම්,

ඒ පිළිබඳවද මෙම පද්ධතිය මගින් ක්ෂණිකව රියදුරු වෙත දැනුම්දීමක් සිදු කෙරේ.

ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ඇතැම් සමාගම් වසර ගණනාවක් පුරා මෙම තාක්ෂණය භාවිත කළද, මිලියන සංඛ්‍යාත ජනතාවක් දෛනිකව ගමන් කරන පොදු ප්‍රවාහන සේවය සඳහා මෙය මෙතෙක් යොදාගෙන නොමැති බවයි.

ඒ අනුව, අදාළ සමාගම් සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඔවුන්ගේ පරිපාලන සහ තාක්ෂණික දැනුම මෙන්ම, අවශ්‍ය උපකරණද මෙම ව්‍යාපෘතිය සඳහා නොමිලේ ලබාදීමට එම සමාගම් ඉදිරිපත් වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. එහි පළමු අදියර යටතේ, අදාළ තාක්ෂණික උපාංග 40ක් බස් රථවල සවිකිරීමට නියමිතව ඇත.