
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද නිර්දේශය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙලෙස අනුමත කරන ලදී.
මෙම පත්වීමත් සමග, ශ්‍රී ලංකා පොලිසියේ වසර 158ක ඉතිහාසයේ, පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස්පති ධුරය දක්වා ඉහළට පැමිණි ප්‍රථම සහ එකම නිලධාරියා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක්වීම සුවිශේෂී සිදුවීමකි.
1969 වසරේ දොඩංගොඩදී උපත ලද ප්‍රියන්ත වීරසූරිය මහතා, 1988 වසරේදී පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්විය. සේවය කරන අතරතුර අධ්‍යාපන කටයුතු වල නිරත වූ ඔහු, අ.පො.ස. උසස් පෙළ සමත්ව, 1992 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස්වීමක් ලැබීය. අනතුරුව 1999දී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙසත්, පිළිවෙලින් 2007, 2012, 2016 සහ 2020 යන වසර වලදී පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන ධුරයන්ටත් පත්විය.
ඔහුගේ සේවා කාලය තුළ අපරාධ, රථවාහන, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සැපයුම් අංශය වැනි ක්ෂේත්‍ර ගණනාවක සේවය කර ඇති වීරසූරිය මහතා, නැගෙනහිර ටිමෝරයේ සහ හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහාද දායක වී ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙකු (LLB) වන ඔහු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද (LLM) හිමිකරගෙන තිබේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු යෝජනාවකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ තනතුර සඳහා ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරිණි. 2024 සැප්තැම්බර් මස සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, එම කාලය තුළ පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය මෙන්ම පාතාලය සහ අපරාධ මැඩලීම සඳහාද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval