
ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නව විමර්ශනයක් ආරම්භ කර ඇති බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය වෙත කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ,
නිමල් පෙරේරා නැමැත්තෙකු හරහා නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති බව කියන මෙම රුපියල් මිලියන 70ක මුදල සම්බන්ධයෙන් මෙම විමර්ශනය දියත් කර ඇති බවයි.
විමර්ශනවලට අනුව, නාමල් රාජපක්ෂ මහතා විසින් රග්බි ක්‍රීඩාවට දායකත්වයක් ලබාදෙන ලෙස ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බු පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ ආර්.පී. ගුප්තා නැමැත්තාගෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීමෙන් අනතුරුව, 2012 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස අතර කාලයේදී නිමල් පෙරේරා නැමැත්තාගේ බැංකු ගිණුම් දෙකකට වරින් වර රුපියල් මිලියන 70ක මුදලක් තැන්පත් කර ඇති බවට හෙළිවී තිබේ.
පසුව, 2013 වසරේ මැයි සහ ජුනි මාසවලදී, එනම් රග්බි තරගාවලිය ආරම්භ වීමට පෙර, නිමල් පෙරේරා විසින් එම මුදල කොටස් දෙකක් වශයෙන් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි FCID ය අධිකරණයට දැන්වීය.
මෙම මුදල් 2013 වසරේ පැවති "සුපර් සෙවන්ස්" රග්බි තරගාවලියේ වියදම් සඳහා "ප්‍රිමියර් ස්පෝර්ට් ලිමිටඩ්" නැමැති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබාදුන් බවට නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දී ඇත. කෙසේ වෙතත්, එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී, රග්බි තරගාවලිය වෙනුවෙන් එවැනි මුදලක් තම සමාගමට නොලැබුණු බවට ඔහු ප්‍රකාශ කර ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
ඒ අනුව, ප්‍රිමියර් ස්පෝර්ට් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේද දැනුවත්භාවයකින් තොරව, නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රිෂ් සමාගමෙන් මෙම මුදල ලබාගෙන සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවාගෙන ඇති බවට නිරීක්ෂණය වන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval